ධනංජය පරිච්ඡේදය

Share post:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් පරිච්ඡේදයක් හෙට ආරම්භ වෙනවා.
හම්බන්තොට දෙබරවැව ජාතික පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා, ඉන්පසුව කෙටි කලක් රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නායකත්වය දරනා පළමු ටෙස්ට් තරගය හෙට ඇරඹෙනවා.
ධනංජය, කුඩා පාසැලක් යැයි සැලකෙන දෙබරවැව ජාතික පාසලෙන් බිහි වූ දෙවන ටෙස්ට් නායකයා.
මින්පෙර තාවකාලික ටෙස්ට් නායකත්වය දැරූ සුරංග ලක්මාල් ද, එම පාසලෙන් බිහි වූ ක්‍රීඩකයෙක්.
එය පාසැලක් වශයෙන් සුවිශේෂී වාර්තාවක්.

ධනංජය ද සිල්වා අලුත් ශ්‍රී ලංකා ක්‍රීඩාවේ සලකුණක්.
ඔහු ටෙස්ට් වරම් දිනුවේ සුවිශේෂී 2016 ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ දී.
ඔහු සිය පළමු ටෙස්ට් ලකුණ වාර්තා කළේ හයේ පහරකින්.
තෙවන තරගයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටිද්දී ඔහු රැස් කළ ශතකය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වුණා.
ඒ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට ඕස්ට්‍රේලියාව 3-0ක් ලෙස පරාජය කළා.
ඒ ජයග්‍රහණයට ධනංජය ද සිල්වා ගේ දායකත්වය විශාල බලපෑමක් වුණා.

එවැනි විශිෂ්ඨ ආරම්භයකට හිමිකම් කියූ, සහජ දක්ෂතාවයකින් හෙඹි වූ ධනංජය ගේ කැපවීම සම්බන්ධ ගැටලු තිබුණා.
පසුකාලීනව ඔහු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වූ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ක්‍රීඩා කිරීමට පෙර දින රාත්‍රියේ පවා ඔහු සමාජජාලා වල සජීවී ව වීඩියො ගේම් ක්‍රීඩා කළා.

ධනංජය නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සලකුණක් වන්නේ ඒකයි.
දක්ෂතාවයෙන් පිරිපුන්, නමුත් කැපවීමේ ගැටලු නිසා දක්ෂතාවය ඔපමට්ටම් කර නොගත් ක්‍රීඩකයන්ගෙන් නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිරී ගිහින්.
ධනංජය නියෝජනය කරන්නේත් එම ක්‍රීඩකයන්ගේ පරම්පරාව.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකත්වය යනු සුලුපටු වගකීමක් නොවෙයි.
තවමත් එය භාරදූර වගකීමක්, කීර්තිමත් තනතුරක්.

හිස මත තැබෙන ටෙස්ට් නායකත්වයේ කිරුළ, ඔහු හික්මවීමට හේතුවක් වේවි.
හෙට තරගය ක්‍රීඩා කරන SSC පිටිය, දඟ පන්දු යවන්නන්ට විශේෂ වාසියක් එක් කරන තනතීරුවක් නොවෙයි.
එම නිසා කණ්ඩායම් දෙකම අතිරේක වේග පන්දු යවන්නෙක් සිය අවසන් සංචිතයට එක් කරගනීවි.
රශීඩ් ඛාන් ක්‍රීඩා නොකරන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟ පන්දු වගකීම අත්දැකීම් අඩු සකීර් ඛාන් මත පැටවේවි.
බැලූ බැල්මට හෙට තරගයේ වැඩි වාසි ඇත්තේ ශ්‍රී ලංකාවට.

ක්‍රීඩා පිටියේ සහ තනතීරුවේ වාසිය හිමිවන්නේ ශ්‍රී ලංකාවට. අත්දැකීම් බහුල කණ්ඩායම ශ්‍රී ලංකාව.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය කිසිසේත්ම අවතක්සේරු කළ හැකි හෝ නොසලකා හැරිය හැකි කණ්ඩායමක් නොවෙයි.
ඉබ්‍රාහීම් සද්රාන් වැනි ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක ඉතිහාසයක් ඇති ක්‍රීඩකයන්ගෙන් ඇෆ්ගන් කණ්ඩායම සමන්විතයි.
ඔවුන්ගෙන් එල්ල වෙන අභියෝගය පරාජය කරමින්, නව ටෙස්ට් නායකත්වයේ ආරම්භයත්, 2024 වසරත් ජයග්‍රාහීව ඇරඹීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති අභියෝගයයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...