ඇමති ලොහාන් මාව දණගස්වා මරා දමාවි යැයි බය වුණා : අනුරාධපුර බන්ධනාගාරයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීමේ නඩුව !

Share post:

තමන් රඳවා සිටි අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් දෙවතාවක් ම පිටතට ගෙන, තමන් දණගැස්සූ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ, ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එය ‘ලෝඩ්’ කර තමන්ගේ නළලට තබා “උඹ කියන්නේ බොරු, ‘ඇත්ත කියපන්” කියා තර්ජනය කළ අවස්ථාව වෙඩි තබා තමන් මරා දමාවියැයි බිය දැනී හැඬුවේ යැයි අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදී සිරකරුවකු වන පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා සාක්ෂි දෙමින් අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය හමුවේ පෙරේදා (04) පවසා ඇත.

ඔහු මෙසේ පැවසුවේ බන්ධනාගාර හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ රාත්‍රී කාලයේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි දෙමළ ජාතික රැඳවියකුට ගිනිඅවියක් එල්ල කර වෙඩි තබා මරාදැමීමට හැකි බව පවසමින්, සාපරාධී බියවැද්දීම යටතේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමදරී පියසේනගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමිනි.

නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාත් එවින්ද රත්වත්තේ අධිකරණයේ පෙනී සිට ඇත.

2021 සැප්තැම්බර් 12දා හෝ ඊට ආසන්න දිනයක බන්ධනාගාර හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාත්‍රී කාලයේදී අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා දෙසට ගිනි අවියක් එල්ල කර, වෙඩි තබා මරාදැමීමට හැකි බව පවසා, සාපරාධී බියවැද්දීම සහ තර්ජනය කිරීම යටතේ විත්තිකරුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය චෝදනා නඟා තිබේ.

විත්තිකරුට එරෙහිව සාක්ෂි දීම සඳහා සිද්ධිය වූ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් සහ එහි රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනකු නම් කර ඇත.

විත්තිකරුට එරෙහි චෝදනා මීට පෙර අවස්ථාවක කියවා දුන් අවස්ථාවේදී සියලු චෝදනාවලට තම සේවාදායකයා නිවැරදිකරු බව ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් දැනුම්දීමෙන් අනතරුව නඩුව විභාගයට තැබීය.

ඒ අනුව නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමදරී පියසේනගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකාර පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා, ද්‍රවිඩ භාෂාවෙන් දුන් සාක්ෂිය අධිකරණ භාෂා පරිවර්තක ඉර්ෆාන් මොහොමඩ් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.

‘එල්ටීටීඊ සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කළැයි කියමින් 2019 ජනවාරි 08 වැනිදා වව්නියාව, පුලියන්කුලම පොලිසිය මා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කළා. බන්ධනාගාරයට ගෙනා මා ත්‍රස්තවාදී සිරකරුවන් රඳවා සිටි අනුරාධපුර බන්ධනාගාරයේ එෆ් කියන සිරකුටියට දැම්මා. එහි මා සමඟ තවත් ත්‍රස්තවාදී සිරකරුවන් 11 දෙනෙක් සිටියා. 2021 සැප්තැම්බර් 12 වැනිදා අප සිටිය සිරකුටියට පැමිණි ජේලර් කෙනකු කිව්වා ‘අපිව නිදහස් කරන්න අත්සන් ගන්න ඕනේ. අපි හමුවෙන්න බන්ධනාගාර ඇමතිතුමා ඇවිත් ඉන්නවා’ කියලා. පස්සේ සිරකුටියෙන් එළියට ගත් අප මිදුලේ පෝලිම් කළා. ඒ අවස්ථාවේ එතැන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා, ප්‍රධාන ජේලර්වරයා සහ බන්ධනාගාර පොලිස් නිලධාරීන් ද හිටියා.

ඒ අතරේ තවත් පිරිසක් සමග තොප්පියක් දාලා අත් දිග ටී ෂර්ට් එකක් ඇඳගෙන තවත් පුද්ගලයෙක් සිටියා. ඔහුගේ ඉණේ දකුණු පැත්තේ පිස්තෝලයක් ගහගෙන සිටියා. ඔහු කතා කර අපෙන් ඇහුවා, මොන වගේ නඩුවලට සම්බන්ධ වෙලාද බන්ධනාගාරගත වෙලා ඉන්නේ කියලා’ ඒ අවස්ථාවේදී මට සිංහල නොතේරෙන බව සුදාහරන් මාර්ගයෙන් මම එයාට කිව්වා.

ඒ අවස්ථාවේ ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එක්වරම ලෝඩ් කරලා මගේ නළලට තියලා ‘උඹ සිංහල දන්නෙ නැහැ කියන්නේ බොරු නේද? ඇත්ත කියපන්’ කියලා කිව්වා. මේ විදිහට ඔහු මා දෙවතාවක්ම දණගස්වලා මගේ නළලට පිස්තෝලය තියලා තර්ජනය කළා.

ප්‍රශ්නය – ඒ වෙලාවේ ඔබට මොකක්ද හිතුණේ?

පිළිතුරු – වෙඩි තියලා මාව මරයි කියලා මට ලොකු බයක් ඇතිවුණා. මට ඇඬුණා.

ප්‍රශ්නය – විත්තිකරු පිස්තෝලය ලෝඩ් කරන අවස්ථාවේ යම් සිද්ධියක් වුණාද?

පිළිතුර – ඔව්. බන්ධනාගාර අධිකාරිවරයා විත්තිකරුගේ අතින් ඇල්ලුවා.

ප්‍රශ්නය – තමන්ගේ නළලට පිස්තෝලය තියලා බයකරපු කෙනා අද මේ අධිකරණයේ ඉන්නවාද?

පිළිතුර – ඔව්. විත්ති කූඩුවේ ඉන්නවා.

සාක්ෂිකාර පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා විත්තිකාර රාජ්‍ය ඇමති ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණයේදී හඳුනාගෙන ඇත.

‘ඔහු මගේ නළලට පිස්තෝලය තියලා තර්ජනය කරලා බයකරපු අවස්ථාවේ එතැන අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාත්, ප්‍රධාන ජේලර්වරයාත්, තවත් නිලධාරීනුත්, බන්ධනාගාර පොලිස් නිලධාරීනුත් හිටියා. ප්‍රධාන ජේලර්වරයා මුලින්ම අපිව සිරකුටිවලින් එළියට ගත්තේ නිදහස් කරන්න අත්සන් ගන්න බන්ධනාගාර ඇමතිතුමා ඇවිත් ඉන්නවා කියලා.

මා දෙවතාවක් දණ ගස්වලා පිස්තෝලය නළලට තියලා තර්ජනය කළ සිද්ධිය ගෙවල්වලට කියන්න කෝල් අරන් දෙන්න කියලා බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට කීවත්, ඔවුන් ඒ අවස්ථාව අපට දුන්නේ නැහැ. පසු අවස්ථාවක මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාරයට ඇවිත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපෙන් ප්‍රකාශ ගත්තා. ඉන් පසු කොළඹ මැගසින් බන්ධනාගාරයට අපිව මාරුකළා.’

වැඩිදුර නඩු විභාගය ලබන අප්‍රේල් 25දාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියෝග කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...