රනිල් වගකීම් ඉටුකරන්නැයි යෝජනා කරයි : වගකීම් ලැයිස්තුවේ කොටසක් පහතින් !

Share post:

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 රුපියල් 685කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 4250ක්.

එමෙන්ම කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රුපියල් 1707 ලෙස සටහන් වෙනවා.

එමෙන්ම කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 795 ලෙසයි.

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, පාසල් ආරම්භයේ දී එලෙස වැඩි වන ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.

ඒ අනුව, අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පෙන්වා දෙනවා.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා

ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර තිබෙන අතර එහි නව මිල රුපියල් 366ක්.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 464ක් ලෙසයි.

ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358 ක් ලෙස සටහන් වනවා.

ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 236ක් ලෙසයි.

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමඟ අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබෙනවා.

ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

ත්‍රිරෝද රථ ගාස්තු ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, 2 වන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමා ඇති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ , වැට් බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා ඉහළ යා යුතුව ඇති බවයි.

මේ අතර, 18% ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහ​තා පෙන්වා දෙන්නේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.

එමෙන්ම පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් වැට් බදු ගැලපීම සමඟ ගාස්තු වැඩි කිරීමක් සඳහා යොමු වන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

එසේම අද (01) සිට සිය ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද සංශෝධනය කරන බව ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කරයි.

ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබේ.

මිලිලීටර් 375 සහ මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක මිල පිළිවෙළින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා ඇත.

විදුලි ගාස්තුවලට කිසියම් බලපෑමක් ඇති කරන, එකතු කළ අගය මත බදු (VAT) අනුපාතය අද සිට ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ භාණ්ඩාගාරය ඇතුළු අදාළ ආයතනවලින් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රජය දැඩි විවේචන මධ්‍යයේ අද සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අයවැය හරහා වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා 3% කින් වැඩිකර ඇත.

වැට් බදු වැඩි කිරීම විදුලි ගාස්තුවලට ඇති කරන බලපෑම පිළිබඳ පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (දෙසැම්බර් 31) කියා සිටියේ වැට් බදු සංශෝධනය සිදු නොවන බවට අදාළ බලධාරීන් දැනුම් දී ඇති බවයි.

වැට් බදු වැඩි කිරීම විදුලි ගාස්තු සඳහා අදාළ වන නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නව වැට් බද්ද පැනවීමත් සමඟ හෙට සිට සියලුම වර්ගයේ ජංගම දුරකථනවල විකුණුම් මිල සියයට 35 කින් ඉහළ යන බව ජංගම දුරකථන අලෙවි හා විකුණුම් සංගමය (MPMSA) පවසයි.

එම සංගමයේ සභාපති සම්පත් සෙනරත් පවසන්නේ, හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මෙම මිල වැඩිවීමත් සමඟ ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50 ක පමණ පහත වැටීමක් සිදුවනු ඇති බවද ඔහු සඳහන් කරයි.

ඒ අනුව හෙට සිට රු. 100,000 කට අලෙවි වූ ජංගම දුරකතනයක් රුපියල් 135,000 ක මිලකට විකුණනු ලැබේ.

ප්ලේන්ට්, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබෙනවා.

සමස්ත ලංකා ආපන ශාලා හා අවහන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ, එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බවයි.

ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සියලු ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ රූපවාහිනී සේවා ගාස්තු 15% සිට 18% දක්වා වැඩි වන බවයි වාර්තා වන්නේ.

වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් සිය මිල ගණන් වෙනස් වන ආකාරය පිළිබඳව Dialog Axiata සමාගම දැනටමත් සිය පාරිභෝගිකයන් වෙත දැනුම්දී තිබෙනවා.

වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මුලික පදනම සාර්ථක කරගැනීමට හැකි වු බව ජනාධිපති නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා දුෂ්කර ගමනක් යා යුතු බවත් මෙහිදී සියළු ලාංකිකයන් වෙත වඟකිමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව පෙරදැරිව බව සඳහන් කරන ජනාධිපතිවරයා, අනාගතය දෙස පමණක් නොව අතීතයද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනාගෙන ඉදිරියට යා යුතු බව සිය සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...