‘යුක්තියෙන්’ මැරුණු නිලධාරියාට උසස්වීම් : සිද්ධිය ගැන බරපතළ සැකයක් !

Share post:

“යුක්තිය” දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවකදී මරණයට පත්වූ බව කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් එම් ජී උපුල් චමින්ද කුමාර ⁣2023/12/31 දින සිට ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු⁣ තෙන්නකෝන් නියෝග කර තිබේ.

වෑන් රියකින් පැමිණි පිරිසක් මාතර වැලිගම හෝටලයකට වෙඩි තැබීයැයි කියන සිද්ධියක් මත ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ “යුත්තිය” මෙහෙයුමේ පොලිස් ජංගම රියේ සිටි පොලිස් නිලධාරීන්ගේ අනින් එහි සිටි හමුදා සාමාජිකයකු විසින් මෙම නාඳුනන වාහනයට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණු වෑන් රිය එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත්, සැක සහිත වෑන් රිය ගැන අවට පොලිසිවලට දැනුම් දීමෙන් පසු අධිවේගී පිවිසුමක් අසලදී වාහනය නතර කර ඇති බවත්, එම වෑන් රියේ සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පිරිසක් බවට ඉන් අනතුරුව හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය වෙත කියා තිබුණේත්, ⁣වැඩ බලන පොලිස්පතිවරයා ඩී/එච්ආර්එම්/පීආර්ඕ/303/2023 දරණ උසස්වීම් නියෝගයේ සඳහන් කර තිබුණේත් වැලිගම විශේෂ වැටලීම් රාජකාරියක යෙදී සිටියදී මෙම සිදුවීම සිදුවූ බවයි.

කෙසේ වෙතත් මෙය නීත්‍යනුකූල වැටලීමක්ද එසේ නැතිනම් නීති විරෝධී කටයුත්තක් ද යන්න ගැන මේ වන විට කතා බහක් ඇති වී තිබෙන අතර ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය යැයි කියනු ලබන සංවිධානයක සභාපති අජිත් ධර්මපාල නම් හිටපු පොලිස් නිලධාරියා තම යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වැලිගම ගොස් තිබුණේ ඉහළින් ලැබුණු නියෝගයකට නීති විරෝධී කටයුත්තකට බවයි.

නීත්‍යනුකූල රාජකාරියකට ගියේ නම් වෙඩි තබා පලා ගියේ කුමන හේතුවක් නිසාද යන්න බරපතල ගැටලුවක් බව ඇතැම් පිරිස් කියති.

වෙඩි වැදුණු පසු එහි සිටි සැරයන්වරයා ළඟම රෝහලට ඇතුළත් නොකර රැගෙන යෑම සිදු කර ඇති බවටද, එසේ කර ඇත්තේ මෙම ගමන නීති විරෝධී ගමනක් නිසා විය හැකි බවද පොලිසිය අභ්‍යන්තරයේම සාකච්ඡා ආරම්භ වී තිබේ.

තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයාගේ සහ ඇමතිගේ “යුක්ති⁣ය” මෙහෙයුමේම පිරිස් අතර මෙවැනි සිදුවීමක් වීම බරපතල තත්ත්වයක් බැවින් මේ ගැන තෙන්නකෝන්ගේ අධීක්ෂණය නැති අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු විය යුතු බව පොලිසියේම පිරිස් ප්‍රකාශ කරති.

කොළඹ අපරාධ කොට්ඨාසය යනු දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ තිබූ කොට්ඨාසයකි. කීර්තිමත් නිලධාරියකු ලෙස ප්‍රඛට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් 2020 මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී නීති විරෝධීව අත්අඩංගුවට ගත්තේ ද මෙම කොට්ඨාසය විසිනි.

එම කොට්ඨාසයේ නිලධාරීන්ට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් සහ වන්දි නඩු කිහිපයක්ද ගොනු වී තිබේ.

දේශපාලනඥයන්ගේ නම් අනාවරණය කළ බවට ජනමාධ්‍ය වාර්තා කළ මාකඳුරේ මදූෂ් නම් සැකකරු ඝාතනය කෙරුණේද කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටියදී වන අතර දේශපාලන වුවමනාවට මදූෂ් සම්බන්ධ පිරිස් වසං කිරීම සඳහා එම ඝාතනයට මගපෑදීයැයි ද චෝදනා එල්ල විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...