‘යුක්තියෙන්’ මැරුණු නිලධාරියාට උසස්වීම් : සිද්ධිය ගැන බරපතළ සැකයක් !

Share post:

“යුක්තිය” දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවකදී මරණයට පත්වූ බව කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් එම් ජී උපුල් චමින්ද කුමාර ⁣2023/12/31 දින සිට ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු⁣ තෙන්නකෝන් නියෝග කර තිබේ.

වෑන් රියකින් පැමිණි පිරිසක් මාතර වැලිගම හෝටලයකට වෙඩි තැබීයැයි කියන සිද්ධියක් මත ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ “යුත්තිය” මෙහෙයුමේ පොලිස් ජංගම රියේ සිටි පොලිස් නිලධාරීන්ගේ අනින් එහි සිටි හමුදා සාමාජිකයකු විසින් මෙම නාඳුනන වාහනයට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණු වෑන් රිය එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත්, සැක සහිත වෑන් රිය ගැන අවට පොලිසිවලට දැනුම් දීමෙන් පසු අධිවේගී පිවිසුමක් අසලදී වාහනය නතර කර ඇති බවත්, එම වෑන් රියේ සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පිරිසක් බවට ඉන් අනතුරුව හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය වෙත කියා තිබුණේත්, ⁣වැඩ බලන පොලිස්පතිවරයා ඩී/එච්ආර්එම්/පීආර්ඕ/303/2023 දරණ උසස්වීම් නියෝගයේ සඳහන් කර තිබුණේත් වැලිගම විශේෂ වැටලීම් රාජකාරියක යෙදී සිටියදී මෙම සිදුවීම සිදුවූ බවයි.

කෙසේ වෙතත් මෙය නීත්‍යනුකූල වැටලීමක්ද එසේ නැතිනම් නීති විරෝධී කටයුත්තක් ද යන්න ගැන මේ වන විට කතා බහක් ඇති වී තිබෙන අතර ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය යැයි කියනු ලබන සංවිධානයක සභාපති අජිත් ධර්මපාල නම් හිටපු පොලිස් නිලධාරියා තම යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වැලිගම ගොස් තිබුණේ ඉහළින් ලැබුණු නියෝගයකට නීති විරෝධී කටයුත්තකට බවයි.

නීත්‍යනුකූල රාජකාරියකට ගියේ නම් වෙඩි තබා පලා ගියේ කුමන හේතුවක් නිසාද යන්න බරපතල ගැටලුවක් බව ඇතැම් පිරිස් කියති.

වෙඩි වැදුණු පසු එහි සිටි සැරයන්වරයා ළඟම රෝහලට ඇතුළත් නොකර රැගෙන යෑම සිදු කර ඇති බවටද, එසේ කර ඇත්තේ මෙම ගමන නීති විරෝධී ගමනක් නිසා විය හැකි බවද පොලිසිය අභ්‍යන්තරයේම සාකච්ඡා ආරම්භ වී තිබේ.

තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයාගේ සහ ඇමතිගේ “යුක්ති⁣ය” මෙහෙයුමේම පිරිස් අතර මෙවැනි සිදුවීමක් වීම බරපතල තත්ත්වයක් බැවින් මේ ගැන තෙන්නකෝන්ගේ අධීක්ෂණය නැති අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු විය යුතු බව පොලිසියේම පිරිස් ප්‍රකාශ කරති.

කොළඹ අපරාධ කොට්ඨාසය යනු දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ තිබූ කොට්ඨාසයකි. කීර්තිමත් නිලධාරියකු ලෙස ප්‍රඛට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් 2020 මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී නීති විරෝධීව අත්අඩංගුවට ගත්තේ ද මෙම කොට්ඨාසය විසිනි.

එම කොට්ඨාසයේ නිලධාරීන්ට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් සහ වන්දි නඩු කිහිපයක්ද ගොනු වී තිබේ.

දේශපාලනඥයන්ගේ නම් අනාවරණය කළ බවට ජනමාධ්‍ය වාර්තා කළ මාකඳුරේ මදූෂ් නම් සැකකරු ඝාතනය කෙරුණේද කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටියදී වන අතර දේශපාලන වුවමනාවට මදූෂ් සම්බන්ධ පිරිස් වසං කිරීම සඳහා එම ඝාතනයට මගපෑදීයැයි ද චෝදනා එල්ල විය.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...