විරෝධතාවට බාධා කළාට පොලිසිය – හමුදාව කනගාටුව පළකරයි : නීතිඥවරු සමථවෙන්න එකඟ වෙති !

Share post:

2022 වසරේ අරගල සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරුන් වෙත සිය කනගාටුව පළකර ඇත.

එම විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් 11දෙනකු විසින් ගොනුකළ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය සහ යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එසේ කනගාටුව ප්‍රකාශ කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කනගාටුව පළකරන බව සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එකඟතාව පළකර ඇත.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරුන් 11 දෙනකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...