කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවියනොහොත් සයිමන්…

Share post:

අලියා වැටුණ වැව සිටි හේරත් හාමී
සයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමී
බෝසත් පෙමින් පෝසත් හේ රසකාමී
පිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී

සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
ඉපනැලි මතක ඉකිලන ඇටසැකිලි පෙනේ
කටුමැටි පැලක කකියන හදවතක සෙනේ
නොකියන දුකක තතු කඩදාසියට ගෙනේ

යසෝදරා වත ගලනා දොළ වතුර
ළසෝ තැවුල් පැදකුණු කළ දිව මතුර
බිසෝ කොටුව උතුරන කඳුලක සුතුර
රසෝඝයක උල්පත උතුරයි මිතුර

තඹවන් වන්නි හත්පත්තුව පුත්තලම
රඹවන් මඩක මැඩියන් දඟ කස්තිරම
මීමුන් ලගින සැණකෙළියකි වක්කලම
සයිමන් වින්ද රුව ගුණ සුවඳක මහිම

එරි එරි මඩේ ඇදෙනා බරකරත්තය
මුහුදක ගැඹුර නොසිඳෙන ලුණු පොලොත්තය
හිම කඳු සිහින දියවෙන දිය කඩිත්තය
අනිමිස සතුට උතුරන හද පෙරැත්තය

මුල්ලේගමින් තාමත් අහසට නඟින
නොනිමෙන දුමකි නිලඹර සිතුවම් අඳින
විහඟෙකි වලාකුළු ගඟ විනිවිද සරන
කිරලෙකි සීත රෑ සංකාවෙන් හඬන

සංසාරයේ ආරණ්‍යය අසබඩක
ඇදෙනා රුවකි පුරහඳ පායන රැයක
උරනා දුමක සහ මීරස මීවිතක
උනනා සිහිනයකි සැඟවෙන මඳනලක

හඬනා රැහේ දාඩිය බේරෙන වැස්ස
දිලෙනා පබළු පිරි උඳුපියලිය බිස්ස
වැටිලා හිඳින්නට ඊතණ දඬුමැස්ස
සොබනා සිතින් එව යසලාලක තිස්ස

කුමාර හෙට්ටිආරච්චි

Related articles

දීපිකා රුවන්මලී කොඩිකාරගේ ”මද සිනා නගන විල් දිය’

දීපිකා රුවන්මලී කොඩිකාරගේ ''මද සිනා නගන විල් දිය' කාව්‍ය සංග්‍රහයෙන් කවි දෙකක් . රුවන්මලී කොඩිකාරමෙය 2025 වසරේදි ප්‍රකාශයට...

98 වැනි ඔස්කාර් සම්මාන උළෙල – 2026 නිර්දේශ නාම ප්‍රකාශයට පත්වේ

ලෝක සිනමාවේ අග්‍රගන්‍ය තරු රාත්‍රිය වශයෙන් සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල ( 98 th Academy Awards - 2026 )98...

තිරංජනී චන්ද්‍රිකාගේ ‘පත්තම්මා’

2025 නොවැම්බර් 26 වෙනිදා තිරංජනී චන්ද්‍රිකාගෙ 'පත්තම්මා' කෘතිය දොරට වැඩියා. ඒක බොහොම චාම් උත්සවයක්. ඒත් එදා වේදිකාව මත...

ගාන්ධි සහ අම්බෙඩ්කාර් දෙදෙනා අතර පැවති විවාදය පිලිබඳව ලියවුණු අරුන්දතී රෝයිගේ කෘතිය

කේරළයට ගිය කෑරලා-2 කේරළ ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නොසැලී සිටිනා තිදෙනෙකි. මැදින් සිටින්නා හිඳගත්වනමය. හේ මහත්මා ගාන්ධි ය. ඔහුට...