ඇමති සහ අමාත්‍යංශ ලේකම් එක් ව නීතිවිරෝධී ව රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹති !

Share post:

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට කෘෂි කර්මාන්තය, ජල සුරක්ෂිතතාව, කාලගුණික දේශගුණික විපර්යාස, අලි – මිනිස් ගැටුම හා වන සතුන්ගෙන් සිදු වන වගා හානි ඇතුළු බොහෝ දෑ දැනට පවතින මට්ටමට වඩා දරුණු තත්ත්වයකට පත් වීමට ඉඩ තිබූ බව බොහෝ නිලධාරීන්ට හා දේශපාලඥයන්ට අවබෝධ කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. මේ නිසා මෑත කාලයේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම පළමු ව උත්සාහ කරන්නේ රක්ෂිත වනාන්තරවලට අයත් ඉඩම් කඩිනමින් වෙන් කර ගෙන ඒවා විවිධ සංවර්ධන භාවිතයන්ට ලබා ගැනීමට ය.

ඒ සඳහා පළමු සැලැසුම සකස් කෙරුනේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය, ආර්. එම්. සී. එම්. හේරත් විසින් නිකුත් කළ 2020 සැප්තැම්බර් 9 වන දින අංක 2020/16 දරන චක්‍රලේඛය මගිනි. සියලු ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් ඉඩම් කොමසාරිස්වරු, ඉඩම් කොමසාරිස්වරු හා සහකාර ඉඩම් කොමසාරිස්වරු වෙත යොමු කර තිබූ මෙම චක්‍රලේඛයේ සඳහන් වන්නේ “විධිමත් ලේඛනයක් නොමැති ව රජයේ ඉඩම් සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත විධිමත් ලේඛන ලබා දීම කඩිනම් කිරීම” යන්න ය. නමුත් එම චක්‍රලේඛයේ අන්තර්ගත වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් විවිධ කාර්යයන් සඳහා නිදහස් කර ගැනීම පිළිබඳ ව ය.

එම චක්‍රලේඛයට අමතර ව එවකට පැවති ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම ප්‍රධාන කර ගෙන කිසිදු ලියවිල්ලක් හෝ ලේඛනයක් නොමැති ව රජයේ ඉඩම්වල පදිංචි ව හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නිත්‍යානුකූල ලේඛන ලබා දීම කඩිනම් කිරීම සඳහා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය විසින් 2020 සැප්තැම්බර් මස 10 වන දින අංක 2192/36 දරන අති විශෙෂ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කරන ලදී. එම ගැසට් නිවේදනයේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් වෙන් කර ගෙන සංවර්ධන භාවිතයන් සඳහා ලබා ගැනීම ය. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ දැඩි බලපෑම් කිරීමක ප්‍රතිඵලයක් ලෙස හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය විසින් ම ඇය විසින් ප්‍රකාශිත ගැසට් නිවේදනය දින 12 ක් ඇතුළත 2020 සැප්තැම්බර් මස 22 වන දින අංක 2194/28 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මගින් අවලංගු කරන ලදී.
වර්තමාන ආණ්ඩුව බලයට පත් වන විට හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය වන ආර්. එම්. සී. එම්. හේරත් නැතහොත් චන්ද්‍රානි හේරත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස වැඩ භාර ගෙන ඇත. මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා දේවි වන්නිආරච්චි වැඩ භාර ගත් පසු ව පළමු කාර්යය ලෙස සිදු කෙරුනේ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් සකස් කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති වනාන්තර සම්බන්ධ ව පවතින ගැටලු නිරාකරණය කිරීම නම් වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම ය. ඒ සඳහා 2023 ජනවාරි මස 23 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර තුළ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචි ව සිටින හා කෘෂි කාර්මික කටයුතුවල නිරත ජනතාව ගේ ගැටළුවලට විසදුම් ලබා දීම ය. එහි පළමු අදියර ලෙස යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි රක්ෂිත වනාන්තරවලට අයත් ඉඩම් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.

නමුත් සත්‍ය තත්ත්වය නම් මේ අතුරින් උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවල රක්ෂිත වනාන්තර තුළ ජනතාව පදිංචි කිරීම එවකට පැවති ආණ්ඩුව විසින් සිදු කිරීම ය. එසේ කරනු ලැබුවේ යුද්ධයෙන් පසු ව ජනතාව පදිංචි ව සිටි ඉඩම් නැවත ඔවුන්ට ලබා දීම වෙනුවට ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් එම ඉඩම් අත් පත් කර ගෙන ජාතික භෞතික සැලැසුම ක්‍රියාත්මක කිරීමට ජනතාවට අයත් ඉඩම් වෙන් කර ගැනීම ය. එසේ නොමැති ව උතුරු හා නැගෙනහිර පළාත්වල රක්ෂිත වනාන්තර තුළ ජනතාව පදිංචි ව සිටි බවට පිළිගත හැකි සාධක නොමැත. වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට සැබෑ තත්ත්වය සඟවමින් අවතැන් කළ ජනතාව දඩමීමා කර ගෙන රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන කාර්යයන් සඳහා ලබා ගැනීමට සැලැසුම් සහගත ව ක්‍රියා කරමින් සිටී.

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩුපාර වන රක්ෂිතය ලෙස 2012 ඔක්තොම්බර් මස 10 වන දින අංක 1779/15 දරන ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශයට පත් කළ රක්ෂිතයේ අක්කර 150 ක් වනජීවී හා වන සම්පත් අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි විසින් 2023 අගෝස්තු මස 8 වන දින අංක 2344/16 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිත භාවයෙන් ඉවත් කර තිබේ.

මීට අමතර ව මුලතිව් වන රක්ෂිතයෙන් අක්කර 29000 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතයට අයත් අක්කර 25000 ක් හා රජවක වනාන්තරයෙන් අක්කර 1000 කට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා එම අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රානි හේරත් හා එක් ව ක්‍රියාමාර්ග ගනිමින් තිබේ.

මේ ආකාරයෙන් රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් ඉතා ම සූක්ෂම ව සංවර්ධන කාර්යයන් සඳහා පවරා ගන්නා අතරතුර එම ඉඩම් මහ පරිමාණයෙන් විවිධ සමාගම්වලට පැවරීමට ද මේ වන විට කැබිනට් අනුමැතීන් ලබා ගෙන ඇත.

තායිලන්තයේ Sutech Engineering සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස Sutech Sugar Industries පුද්ගලික සමාගම මගින් ග්‍රීන් ෆීල්ඩ් සීනි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර අක්කර 600 ක් උක් කර්මාන්තශාලාව සඳහාත් තවත් අක්කර 70000 ක් උක් වගා ව්‍යාපෘතිය සඳහාත් ලබා දීමට 2023 ජුනි මස 26 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

අයි. එම්. එස්. හෝල්ඩින් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන බිබිල උක් වගා ව්‍යාපෘතිය සඳහා අක්කර 62500 ක් මොනරාගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික්ක තුනෙන් ලබා දීමට මේ වන විට සැලැසුම් සකස් කර අවසන් ය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය 2017 පෙබරවාරි 14 වන දින කැබිනට් මණ්ඩලය විසින් ලබා දී තිබේ. මීට අමතර ව චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත මාගම්පුර වරාය බදු දීමෙන් පසු ව චීන කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන් ඉඩම් අක්කර 15000 ක් ලබා දීමට මේ වන විට මැනීම් කර අවසන් ව තිබේ.

මේ සියලූ ම ඉඩම් අදාළ සමාගම් වෙත ලබා දීමට රක්ෂිත වනාන්තරවලින් ඉවත් කර ගත යුතු ව ඇත. ඒ සඳහා පහසු ක්‍රමවේදයක් ලෙස රක්ෂිත වනාන්තරවලින් ඉඩම් බැහැර කර ගැනීම සඳහා ජනතාව ගේ දීර්ඝකාලීන ඉඩම් භාවිතය ලබා දීම යන්න මත පදනම් ව ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් සිටී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදය යටතේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව ය. නමුත් චන්ද්‍රානි හේරත් වැනි රාජ්‍ය නිලධාරීන් හා පවිත්‍රා වන්නිආරච්චි වැනි ආණ්ඩුවේ අමාත්‍යවරියන් කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමිනි.
2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ මූලික අර්ථනිරූපනයට අනුව මෙම පනත වන සම්පත් සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කිරීමට සහ ඒවා තිරසර කළමනාකරණය කිරීමට විධිවිධාන සැලැස්වීමේ පනතක් ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත වී ඇත. මෙම මූලික පරමාර්ථ උල්ලංඝනය වන පරිදි වන රක්ෂිත පිළිබඳ ව තීන්දු තීරණ ගැනීමේ බලයක් අමාත්‍යංශ ලේකම්වරියට හෝ අමාත්‍යවරියට නොමැත.

වන සංරක්ෂණ ආඥාපනතේ 3 වන වගන්තියට අනුව වන රක්ෂිතයක් හෝ සංරක්ෂණ වනයක් ප්‍රකාශයට පත් කළ පසු ව ඒ සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් කළමනාකරණ සැලැස්මක් සකස් කළ යුතු අතර ඒ මත රක්ෂිත වනයේ පරිපාලනය හා කළමනාකරණය සිදු විය යුතු ය. මෙම වගන්තියට අනුව අමාත්‍යංශයේ ලේකම්වරියට හෝ අමාත්‍යවරියට අවශ්‍ය පරිදි රක්ෂිත ප්‍රදේශ වෙනස් කිරීමේ හැකියාවක් නොමැති අතර රක්ෂිතවල මායිම් වෙනස් කර ඉඩම් බෙදා දීම සඳහා පොදු කැබිනට් මණ්ඩල අනුමැතියක් ද ලබා ගත නොහැකි ය. ඉන් සිදු වන්නේ අමාත්‍යංශයේ ලේකම්වරිය, අමාත්‍යවරිය ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් වන සංරක්ෂණ ආඥාපනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
2022 අංක 7 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ප්‍රකාශයට පත් කර ඇති අභය භූමි හෝ අලි කළමනාකරණ රක්ෂිත හෝ ජාතික රක්ෂිතවලට අයත් ආරක්ෂිත ප්‍රදේශ පිළිබඳ ව අමාත්‍යංශයේ ලේකම්වරියට හෝ අමාත්‍යවරියට අභිමත ලෙස තීන්දු තීරණ ගැනීමේ බලයක් නොමැත. එපමණක් නොව අමාත්‍ය මණ්ඩලයට ද එම රක්ෂිත පිළිබඳ ව තීන්දු ගැනීමේ බලයක් නොමැත. මෙම පනතේ මූලික අර්ථනිරූපනයට අනුව වනජීවී වාසභූමි ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම හා ඒවා වාණිජ ලෙස අනිසි ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා වන පනතක් ලෙස පාර්ලිමේන්තුවෙන් මෙය සම්මත වී ඇත. මෙම මූලික අර්ථනිරූපනයට පිටතින් රක්ෂිත වනාන්තරවල ඉඩම් බෙදා දීම සිදු කළ නොහැකි අතර එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ හැකියාව ද නොමැත.

මෙම පනතේ 2 වන වගන්තියට අනුව වනජීවී රක්ෂිතයක මැයිම් වෙනස් කිරීම සඳහා පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතු ය. ඒ මත පදනම් ව අමාත්‍යවරයා විසින් සකස් කරන නියමයන් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගැසට් පත්‍රයක පළ කළ යුතු ය.

මේ කිසිදු නීතියක් පිළිබඳ ව නොදන්නා චන්ද්‍රානි හේරත් වැනි අමාත්‍යංශ ලේකම්වරියන් හා පවිත්‍රා වන්නිආරච්චි වැනි අමාත්‍යවරියන් බලය ලැබුණු සෑම අවස්ථාවක ම උත්සාහ දරන්නේ තමන් ගේ යැපීම වෙනුවෙන් කවර ආකාරයක හෝ ඉඩම් කොල්ල කා ගැනීමට ය.

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යංශය ලැබී කෙටි කාලයක් තුළ නීති විරෝධී කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට අමතර ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන ඉඩම් කොල්ල කා ගැනීම ද සිදු කෙරින, දෙනියාය, විහාරහේන, සෙල්ලවකන්ඳ ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සිංහරාජය ආශ්‍රිත ව පිහිටි විශාල තෘණ භූමියක අක්කර 50 ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන තේ වගාව සඳහා භූමිය සැකැසීම සිදු කර තිබේ. මෙම ඉඩම් සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට යෝජිත ව ඇති බැවින් ඒ පිළිබඳ ව අප අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ පවිත්‍රා වන්නිආරච්චි ගේ දේශපාලන බලය මත මේ සියල්ල සිදු වන බව ය. මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි ප්‍රධාන ම අලි මංකඩ වන මාණික්කවත්ත ප්‍රදේශයේ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ගේ පියාට අයත් ඉඩම් සෙවීම සඳහා මීට මාස කිහිපයකට ප්‍රථම නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇත්තේ ද දේශපාලන බලය භාවිත කරමිනි.

මෙරට නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් ම බිඳ දමමින් රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍යවරුන් මේ ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් පෙනී යන්නේ මෙරට වනාන්තර හා කෘෂි කර්මාන්තය දැවැන්ත අගාධයකට ගෙන යමින් පවතින බව ය. රටේ අනාගතය ගැන සිතන පුරවැසියන් ලෙස අපට මේ තත්ත්වයට ඉඩ දී බලා සිටිය නොහැකි ය. මේ නිසා මීට එරෙහි ව ක්‍රියාත්මක වීමට රට ගැන සිතන සියලු ජනතාව ඒකරාශී විය යුතු ව ඇත.

  • සජීව චාමිකර

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...