සාක්ෂි වසන් කළ සැකකරුවන් හරහා ඝාතකයන් ළඟට යන පාර ඇහිරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම : ලසන්ත වික්‍රමතුංග !

Share post:

චැනල් 4 නාලිකාව මගින් ඉදිරිපත් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහනේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ද විශේෂයෙන් සඳහන් කෙරිණි.

එම වැඩසටහනට දායක වූ හන්සීර් අසාඩ් මවුලානා පවසන්නේ ලසන්ත වික්‍රමතුංග කඩිනමින් ඝාතනය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ සෘජු ව ම පැවසූ බවයි. හන්සීර් අසාඩ් මවුලානා යනු තමිල් මක්කල් විඩුතලයි පුලිගල් පක්ෂයේ (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ (පිල්ලෙයාන්ගේ) මාධ්‍ය ලේකම්වරයා සහ එම පක්ෂයේ මුදල් අංශය බාර ව කටයුතු කොට, දැනට විදේශගතව සිටින පුද්ගලයෙකි. ඔහු විසින් සිදුකරන අනාවරණ කිහිපයක් ප්‍රධාන වශයෙන් මෙම වැඩසටහනට මූලාශ්‍ර කරගෙන තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 08දා ය. එම ඝාතනය පිළිබඳ යුක්තිය නොමැතිව වසර 14ක් ගත වූ 2023 ජනවාරි 10 දින www.thetime.lk අප විසින් පළකළ ලිපියක් – ශීර්ෂය වෙනස් කොට මෙහි නැවත පළ වේ.

සැකකරුවන් කෝ ?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන තෙක් එකදු නිශ්චිත සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයෙන් පසු එහි සාක්ෂි විනාශ කිරීම හෝ එවැනි කටයුතු සම්බන්ධයෙන් පමණි.

මැතිවරණ කාලයට උඩට මතු කරන – යළිත් පස්වලට යට කර දමන එම අපරාධයට අදාළ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු මත පදනම් ව මෙම ලිපිය සකස් කෙරිණි.

2009

2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළිකරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර, ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළිකරන බවට ඔහු සිය සගයන් සමග කියා තිබිණි.

ලසන්ත ඝාතනය

එදා 2009 ජනවාරි 08දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි.

එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර, ෆුල්ෆේස් හෙල්මට් පැළඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමග ම ඔහු ද යතුරුපැදියට නැග වික්‍රමතුංගගේ වාහනය පසුපස යන්නට විය.

මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරුට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේ ය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ ලසන්ත ම ය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු, ඔහු වහාම ලසන්තගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වහාම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කී විට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය.

‘බයික්එකේ අංකේ හොයාගන්න බලන්න.’ ලසන්ත රියදුරුට කීවේය.

ලසන්ත වික්‍රමතුංග එදින ගියේ බත්තරමුල්ලේ නිවසට ය. එම නිවසේ සේවකයකුට අසනීප වී තිබුණු අතර, ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අසාගෙන බිරිඳ සමග බෙහෙත් මිලදී ගැනීමට ගියේය. ඒ යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ.

වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර, යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැග්ගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමට ය. ඒ අතරමගදී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර, තමන් පසුපස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ ලසන්ත ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහුබඳින බව කී නිසා මලික් සමරවික්‍රම වරින්-වර ඔහුට කතාකරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රමට, තමන් පසුපස ලුහුබඳින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර, ලසන්ත සමරවික්‍රම සමග කතාකරමින් වාහනය පදවාගෙන ගියේය.

අත්තිඩිය මලගල කනිෂ්ඨ විද්‍යාලය අසල කහ ඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එම නිසා ලසන්තගේ වාහනය ද එතැන මදක් නතර කිරීමට සිදු විය. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර කෙරිණි. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමග ම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදය ද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත්, අනෙක් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසටත් විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය.

ඇසින් දුටුවන්

‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන්පස්සේ එයාලා ගියා.’ එසේ කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන්පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතනයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර, අනෙක් පුද්ගලයා ලසන්තව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේය.

මද දුරක් වාහනයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුරකතනය යළින් නාද වූ අතර, ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම ය.

‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න’ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනෙක් අයට පණිවුඩය ලබාදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේ ම කළුබෝවිල රෝහලට පැමිණි අතර, ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළහ. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදුකළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මිය ගියේය.

වෙඩි තැබීම සහ ඇනීම

ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යවරයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමුකළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා, මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

එම ස්ථානයට රජයේ රස පරීක්ෂක ද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර, ඔහු ද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනා ම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් ඇන්න බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන ද විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබිණි. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමග වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ.

විමර්ශන ආරම්භය

ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුවත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජයන්ත වික්‍රමරත්න ය.

ගල්කිස්ස දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර ය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස හේමන්ත අධිකාරි කටයුතු කරද්දී, සහකාර පොලිස් අධිකාරි එල්.සී. ගුණවර්ධන ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා ද, ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල ද කටයුතු කළහ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර, පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ ද සාක්ෂි සටහන් කරගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරීක්ෂක වීරසිංහ, සැකකරු දේපොළ කුවිතාන්සි අංක 101/09 යටතේ එය ඇතුළත් කළේය.

සටහන් පොත

උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සටහන් පොතේ පිටු 160කින් පිටු 126ක ම ලසන්ත වික්‍රමතුංග ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ මුල පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර, පවුලේ සාමාජිකයන්ගෙන් කියැවුණු දෑ සමග මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල සැකකළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තැබීය.

ඉන්පසු නඩු භාණ්ඩ කුවිතාන්සි ලේඛනයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක් යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත්, අනෙක ජා-ඇල බවත් තහවුරු කර ගත් සුගතපාල මුලින්ම බොරලැස්ගමුවට ගියේය.

සටහන් විනාශ කිරීම

එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේ ය.

ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාළ නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැකකරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරු ය.

ඉන්පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති විසින් උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමන්ට ලබාදෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී, ඒවා ඉරා තමන්ට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය.

‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නෝට් පොතයි මට දීපන්.’

යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ සටහන් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.

ලසන්තගේ ඝාතනයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස එවකට ආණ්ඩුවට දිගින්-දිගටම බලපෑම් පැමිණි අතර, 2009 නොවැම්බර් 25 දා එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. ඔවුන්ට එම පරීක්ෂණ කරගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය විසින් 2010 පෙබරවාරි 07දා පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදුකරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි.

පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට

ලසන්ත වික්‍රමතුංගගේ ගමන් මග ඔස්සේ දිගින්-දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයාගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදීගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් 01දා ය. කොළඹ, ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකට ය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේවය කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනුයුක්තව ය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට මත්පැන් බීමට දී ඔහුගේ හැඳුනුම්පත ලබාගෙන, එම සිම් කාඩ් මිලදීගත්තේ යැයි අනාවරණය වුවත්, ජේසුදාසන් මුදාහැරියේ ද නැත. ඔහු අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද, නැතහොත් මරා දැමීමක්ද යන්න අබිරහසකි.

2010 ජනාධිපතිවරණය පැවතියේ ද මේ අතර ය. ජනාධිපතිවරණය නිමවීමත් සමග 2010 පෙබරවාරි 26 දා ලසන්ත ඝාතනයට අදාළව යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඊට පසු දින තවත් 06 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. මේ සියලුදෙනා එවකට සරත් ෆොන්සේකාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තද, මේ පිරිසෙන් 09 දෙනෙක් දින 06කට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි 08 දෙනා දින 11කට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

පරීක්ෂණ යළිත් සීඅයිඩියට

මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 පෙබරවාරි 25 දා යළිත් මෙහි පරීක්ෂණ සීඅයිඩියට පැවරිණි. ඒ අනුව එවකට සීයිඩිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එවකට එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ලගේ අධීක්ෂණයෙන්, එවකට සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරාගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ.

පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූයේ ලසන්ත ඝාතනයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස් ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත ඝාතනය කර ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවදියේ ම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමාන විය.

ලසන්ත ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදාගන්නා නවීන උපකරණයක් බවට සැක කෙරේ. එම උපකරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි.

දෙවැනි වර, අලුතින් පරීක්ෂණ ආරම්භ කළ සීඅයිඩිය මුලින්ම කළේ පොලිසියේ අයගේ සාක්ෂි සටහන් කරගැනීමයි. 2015 ඔක්තෝබර් 12 දා සහ 2015 නොවැම්බර් 04 දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කරගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර, ඔහුගේ ප්‍රකාශ අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ද පෙනීගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කරගැනීමට 2017 ජනවාරි 31 දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබාගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර, ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂකවරයා සීඅයිඩියෙන් පැන ගොස් තිබිණි.

සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු සීඅයිඩිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේ ද සහාය ඇතිව කළුතර, කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු පෙබරවාරි 01දා සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ සීඅයිඩියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක කාලයක් සැකකරු රඳවා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායා පිටපත් වසර 09කට පසු සීඅයිඩිය සොයාගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදී ය.

යතුරු පැදි නාටකය

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇළේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමුනොවීය. ඉන්පසු සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර, උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ’ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි 02 සොයාගෙන ඇත.

ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනීගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්තරන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම්කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිණි. ඒ, යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවටයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ ද නැත.

සීඅයිඩිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විෂ්ණු කුමාර් පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර, රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18දා ඔහු සහ මිතුරකු යතුරුපැදියෙන් යද්දී කොළ පාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරුපැදිය, ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්ෂි හමු විය. ඊට පසු දින, එනම් ජනවාරි 19දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තැබීමෙන් ය.

එනම්, ලසන්ත ඝාතනයට යොදාගත්තේ යැයි කී යතුරුපැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර දින 10කට පසුව ය.

එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදියක් නොව ලසන්ත ඝාතන පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට උපයෝගී කර ගත් යතුරුපැදියක් බව අනුමාන කළ සීඅයිඩිය පොලිස්පතිට ලැබුණු ඉහත කී පෙත්සම ගැන සොයාබැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26දා ය. නමුත් යතුරුපැදිය සොයන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25දා ය. ඒ අනුව යතුරුපැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි.

නාටක නැවතුණු තැන

මේ ආකාරයේ දීර්ඝ ව ලිවිය හැකි තවත් නාටක රැසක් ලසන්ත ඝාතන විමර්ශන අතර තිබේ. ලසන්ත ඝාතනයට අදාළ ව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යටතේ ය. එනම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි තීරණාත්මක ඝාතන මෙන්ම ලසන්ත අපරාධයේ සැබෑ ඝාතකයන් ද තවමත් නිදහසේ ය.

මේ අපරාධය පිළිබඳ විමර්ශන කළ ප්‍රධාන විමර්ශකයා වූ ශානි අබේසේකරගෙන් පළිගැනීම්, අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම්, නඩු පැවරීම් රැසකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ විගස කරන ලද්දේ මෙවැනි තීරණාත්මක විමර්ශන ශානි අබේසේකරගෙන් ඉවත් කොට, ධුරයෙන් පහත හෙළීම ය. ඔහු යටතේ විමර්ශන කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තර්ජන හේතුවෙන් රට හැර ගියේය.

එහෙත් අප යළි-යළිත් මේ කරුණු ලිවිය යුතුය. යුක්තිය වෙනුවෙන් බලපෑම් කළ යුතුය. අත්හරින්නට අයිතියක් නැත.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...