අධිකරණ අපහාසය පිළිබඳ මාධ්‍යවේදියාගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි : නීතිපති, සීඅයිඩි ඇතුළු පාර්ශ්ව 06කට නොතීසි !

Share post:

අධිකරණයට අපහාසයක් සිදුවීදැයි සෙවීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කළ නියෝගයක් බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් නොතීසි නොයවාම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය, එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අද (29) නියෝග කළේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මාධ්‍යවේදියා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේ පෙත්සමේ සඳහන් අතුරු සහනය ගැන මේ අවස්ථාවේ ඉල්ලීමක් නොකරන බවයි.

අවශ්‍ය වුවහොත් ඉදිරියේදී අතුරු සහනය ගැන ඉල්ලීමක් කරන බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය, එහි වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 16දා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, සයිබර් අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එස්.යූ. සුබසිංහ සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් වන අතර, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ මාධ්‍යවේදී බෘනෝ දිවාකර සැකකාර වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

මාධ්‍ය සාකච්ඡාවක් සිදුකරමින් අධිකරණයට අපහාසයක් සිදුකළාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මහාධිකරණයට අභියාචනයක් යොමු කර තිබිණි.

එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවාම නිශ්ප්‍රභ කිරීමට කොළඹ අංක 8 මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක පසුගිය ජූලි 06දා නියෝග කළ බවත් මෙම ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් වේ.

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මරදාන පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියා ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව ඔක්තෝබර් 07දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් යැයි කියමින් ඉදිරිපත් වූ නීතිඥවරයකු කරුණු දක්වමින් එම මාධ්‍ය සාකච්ඡාවේදී අධිකරණයට අපහාසයක් වූ බවට කරුණු දැක්වූ බවත් තරිඳු ජයවර්ධන ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් වේ.

එම කරුණු සැලකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවත්, පසුව ඔහු විසින් නැවත වරක් එම නියෝගය පරිගණක අපරාධ කොට්ඨාසයට ද කළ බවත්, අධිකරණයෙන් පිටතදී කළැයි කියන අධිකරණ අපහාසයක් ගැන විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට සහ සීඅයිඩියට බලයක් නැති බවත් කියමින් මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් නොතීසි නොයවාම මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් මෙම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය දෝෂ සහිත බැවින් එම නියෝගය අහෝසි කර බල රහිත කරන ලෙසත්, කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය ද අහෝසි කර බල රහිත කරන ලෙසත් ඉල්ලමින් නීතිඥ සුරේන් ඩී. පෙරේරාගේ උපදෙස් මත නීතිඥ මනුෂිකා කුරේ මගින් තරිඳු ජයවර්ධන විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අධිකරණයට අපහාස කිරීමක් ගැන සොයාබැලීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති වීම සහ නිසි පැමිණිල්ලක් නොමැතිව හුදෙක් අගතියට පත් පාර්ශ්වයේ යැයි සඳහන් කෙරුණු නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත පමණක් එවැනි නියෝගයක් කිරීම වැරදි බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා මහාධිකරණයට ප්‍රතිශෝධනයක් යොමු කළ බව ද, මහාධිකරණ විනිසුරුවරයා එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවා ම ප්‍රතික්ෂේප කිරීමට ජූලි 06දා නියෝග කළ බව ද තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 07දා කළ නියෝගයේ අභියාචක මාධ්‍යවේදියාගේ නම සඳහන් කර තිබියදී මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ තුන් වැනි පිටුවේ සහ හතර වැනි පිටුවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට සදහන් කර නැතැයි තීන්දු කර ඇති බවත්, එක්ස් ලෙස සටහන් කර ඇති නඩු වාර්තාවේ එක්ස් එක ලෙස සටහන් කර ඇති කොටසේ අභියාචකගේ නම සඳහන් කර ඇති බවත්, එය සොයාගැනීමට විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවත් අභියාචනා පෙත්සමේ දැක්වේ.

විමර්ශනයක් සඳහා බලය ඇති බවට නිගමනයකට එළඹීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 (ආ) (i) වගන්තිය උපුටා දක්වා ඇති බව ද, එසේ වුවද එම වගන්තියේ පළමු කොටස මහාධිකරණ විනිසුරුවරයා නොසලකා ඇති බව ද, ‘ස්වකීය ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළ’ ලෙස එහි සඳහන් වන බව ද, මෙම සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ නොව මාලිගාකන්ද ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ බව ද මෙම පෙත්සමේ සඳහන් කර තිබේ.

එසේම එම වගන්තියේ ‘යම් වැරදි සම්බන්ධයෙන් මේ සංග්‍රහය යටතේ ඒ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ ද’ යනුවෙන් සඳහන් වන බව ද, අධිකරණයේ අධිකරණ බලය මෙම සංග්‍රහය යටතේ ඇති වැරදිවලට සීමා වී ඇති බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරද්දී අභියාචක විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී කරුණු සලකා බැලීමට මහාධිකරණ විනිසුරුවරයා අපහොසත් වී ඇති බව ද අභියාචක මාධ්‍යවේදියා සඳහන් කරයි. ඒ අනුව මෙම පෙත්සම බාරගෙන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මහාධිකරණ විනිසුරුවරයාගේ ජූලි 06 දිනැති නියෝගය අවලංගු කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයාගේ ජුනි 07 සහ ජුනි 21 දිනැතිව නිතුත් කළ නියෝගය අවලංගු කර බලරහිත කරන ලෙසත් අවසන් වශයෙන් පෙත්සම්කරු ඉල්ලා ඇත.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...