අධිකරණ අපහාසය ගැන විමර්ශනය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නෑ : පෙත්සමේ නියෝගය අනිද්දා !

Share post:

අධිකරණයෙන් පිටතදී කරන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කොළඹ මහාධිකරණයට අද (04) දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා ඒ බව දැනුම් දුන්නේ අධිකරණයට අපහාස කළැයි කියමින් නීතිඥවරයකුගේ කරුණු දැක්වීමක් මත මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයක් අහෝසි කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී ය.

නීතිඥ මනුෂිකා කුරේ මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ එම පෙත්සම, අද කොළඹ අංක අට මහාධිකරණයේදී කැඳවිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, ප්‍රබෝධ රත්නායක, පවිත්‍ර මනුජය, මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරුන් පිරිසක් සමග ජනාධිපති නීතිඥ සාලිය පරීස් පෙනීසිටියේය.

නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පනත අවභාවිත කිරීම ගැන පෙත්සම්කරු ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම නඩුවට අදාළ ව ජුනි 07දා පැවැත්වූ මෙම මාධ්‍ය සාකච්ඡාව මගින් අධිකරණයට අපහාස කිරීමක් සිදු කර ඇතැයි අගතියට පත් පාර්ශ්වයේ යැයි සඳහන් කරමින් පෙනී සිටි නීතිඥවරයකු විසින් කළ සඳහනක් අනුව ඒ ගැන විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

නැවත වරක් ජුනි 21දා නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇති බවත් සාලිය පීරීස් සඳහන් කළේය.

අධිකරණ සංවිධාන පනතේ 55.1 යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරිපිටදී කරනු ලබන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට එම අධිකරණයට බලය ඇතත්, මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරනු ලබන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණවී‍මේ අනන්‍ය බලය ඇත්තේ අභියාචනාධිකරණයට බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීම ඕනෑම නීතිඥවරයකුට අවස්ථාව නැති බවත්, එලෙස කරුණු දැක්වූ පමණින් නියෝග ලබාදීම වැරදි බවත්, එලෙස නියෝග ලබා දුනහොත් වැරදි කරුණක් මත පවා නියෝග ලබා දීමේ හැකියාව ඇති බවත්, නියෝග ලබාදීමට නම් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පැමිණිල්ලක් ලැබී හෝ දිවුරුම් ප්‍රකාශයකින් කරුණු දක්වා තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

පෙත්සම්කරු මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ අයිසීසීපීආර් පනත අවභාවිත කිරීම ගැන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

නඩු තීන්දු කිහිපයක් ගෙන හැර දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසි නිකුත් කරන ලෙස ද, මෙම ප්‍රතිශෝධන ‍පෙත්සම විභාග කර අවසන් වන තෙක් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව සහ පරිගණක අපරාධ කොට්ඨාසය ආරම්භ කර ඇති විමර්ශන අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන්ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහාධිකරණය ප්‍රතිශෝධන පෙත්සමට අදාළ නියෝගය ලබන 06දා ලබාදීමට තීන්දු කළේය.

සිංහල රාවය සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළ නීතිඥවරයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ‍මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් බල ප්‍රදේශයෙ නොවී තිබියදී ඊට අදාළ ව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග ලබා දී ඇතැයි ද එම පෙත්සමේ සඳහන් වේ.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...