අධිකරණයට අපහාස කිරීම ගැන විභාග කරන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ : තරිඳු ජයවර්ධනගේ පෙත්සම සහ P to P තීන්දුව !

Share post:

මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, අධිකරණයට අපහාසයක් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවත් එසේ හෙයින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙසත් ඉල්ලමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහාධිකරණයට ප්‍රති‍ශෝධන පෙත්සමක් ගොනු කර තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ එම නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන නතර කරන නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිඥ මනුෂිකා කුරේ මාර්ගයෙන් අදාළ ප්‍රති‍ශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ මරදාන පොලිස් බල ප්‍රදේශයේ බවත්, මරදාන පොලිස් බල ප්‍රදේශය අයත් වන්නේ මාලිගාකන්ද අධිකරණ බල ප්‍රදේශයට බවත්, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් එම ප්‍රති‍ශෝධන පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

නතාෂා එදිරිසූරිය ICCPR පනත අනුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සිවිල් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු, සිවිල් ක්‍රියාධර විදර්ශන කන්නංගර සහ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර යන පිරිස විසින් අධිකරණයට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානය නියෝජනය කරමින් කරුණු දැක්වූ නීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජුනි 07දා සහ ජුනි 21දා මෙම නියෝගය කර තිබිණි.

අධිකරණ සංවිධාන පනත අනුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොවන අධිකරණයට අපහාස කිරීමක් ගැන විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීම ගැන දඬුවම් පැමිණවිය හැක්කේ අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත්, එවැනි සිද්ධියක් ගැන විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් තරිඳු ජයවර්ධන ඉදිරිපත් කළ ප්‍රති‍ශෝධන පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

අභියාචනාධිකරණය කිව්වේ කුමක්ද ?

නැගෙනහිර පළාතේ පොතුවිල් සිට උතුරු පළාතේ පොලිකණ්ඩි දක්වා පැවති P to P පාගමන මගින් අධිකරණ නියෝග උල්ලංඝනය කළ බවට පොලිසිය විසින් ගොනුකළ නඩුවක් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී 2021 අප්‍රේල් 30දා විභාගයට ගැනීමට නියමිත විය.

ඊට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර, එය 2021 අප්‍රේල් 29දා සලකා බැලිණි.

එහිදී ජනාධිපති නීතිඥ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දී තිබුණේ අධිකරණ නියෝග උල්ලංඝනය වීමක් සිදුවී ඇත්නම්, එය අධිකරණයට අපහාස කිරීමක් වන නිසා, එවැනි චෝදනාවක් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවයි.

මේ පෙත්සම අර්ජුන ඔබේසේකර සහ මායාදුන්න කොරයා යන විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලිණි.

මේ තර්කය පිළිගත් අභියාචනාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලදි.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...