තීරණාත්මක සතියක් : කොළඹින් පිටවෙන්න එපා – රනිල් ආණ්ඩු පක්ෂය කැඳවයි : හදිසි පාර්ලිමේන්තු  සැසියක් : කිසි ප්‍රශ්නයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Share post:

තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ය. මෙහිදී ආණ්ඩු පක්ෂය තුළ ඇති වී තිබෙන විසංවාදී තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයාට සමීප පාර්ශ්ව සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂය තුළින් ම ප්‍රබල විරෝධයක් මතුව ඇති අස්වැසුම සුබසාධන ක්‍රමය, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ යුරෝපා සංචාරයෙන් මෙරට ට අත්වූ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෙම හමුවේදී අවධානය යොමුකිරීමට නියමිත ය.

නව ඇමති ධුර

ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  කණ්ඩායමට ඇමති ධුර ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේ අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ ලබන 28දා සිට 03 දක්වා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳීසිටින ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

හදිසි සැසිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කරගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමේ සූදානමක් ද පවතී. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදිනක සැසියක් ලෙස පැවැත්වෙනු ඇති බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් රාජ්‍ය බැංකු සහ විශේෂිත අරමුදල් විසින් මිලට ගත් බැඳුම්කර හා බිල්පත්වල පොලිය අඩුකිරීම හෝ ණය කාලය දීර්ඝ කිරීමට ඉඩ ඇති බව ද සඳහන් ය.

මේ සඳහා වන රෙගුලාසි පාර්ලිමේන්තුවෙන් අනුමත කරගැනීම සඳහා මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම කැඳවා තිබේ. මෙහිදී මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ණය වාරිකය

මෙම අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ලබන සැප්තැම්බර් මාසයේදී ලැබීමට නියමිත එම අරමුදලේ මීළඟ ණය වාරිකය ප්‍රමාද වනු ඇතැයි ද මීට පෙර වාර්තා පළ විය. ඊට හේතුව ලෙස සඳහන් වූයේ අදාළ කොන්දේසි ඉටුකිරීම ප්‍රමාද වීම ය.

‘ප්‍රශ්නයක් නෑ’

එහෙත් මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පැවසුවේ එහි කිසිදු ප්‍රමාදයක් සිදුනොවනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් දැනටමත් අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...