පුටින්ගේ; අරක්කැමියා ගේ කැරැල්ල

Share post:

රුසියාවේ Rotov-on-Don නගරයේ බලය වැග්නර් කළී හමුදා කණ්ඩායම විසින් ඊයේ අත්පත් කර ගැනීමත් සමග, පුටින්ගේ රුසියානු ව්‍යාප්තවාදය පාරා වලල්ලක් වෙමින් රුසියාව ලෝක දේශපාලන සිතියමේ තීරණාත්මක කඩඉමකට පැමිනෙමින් තිබෙන බව පෙනේ. ඒ සමගම පසුගිය කාලයේ ලෝක ප්‍රවෘත්ති සේවා අතර වැඩිපුරම බාවිතා වූ යුක්රේන යන නම වැග්නර් බවට පරිවර්තනය කරමින් තිබේ. රුසියාව සිවිල් යද්ධයක් ආරම්භ වීමේ මුව විටට පැමිණ ඇති අතර පුටින් විසින් එය තමාට පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස හැඳින්වූ අතර “පාවාදීම” ට දඬුවම් දෙන බව, පටිගත කල රූපවාහිනී විකාශයදී ප්‍රකාශ කලේය. යුක්රේන යුද්ධයේදී ඔහුගේ රහසිගත විස්වාසවන්තම අවිය ලෙස සිටි වැග්නර් කණ්ඩායම ඉවත්වීමේ සහ ඒ පසු පස ආ හැකි සිදුවීම්වල කම්පණයේ ලකුණු එම කතාව නිරීක්ෂණය කරන විට පෙනේ.

වැග්නර් කුළී හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අතර වාග් සංග්‍රාම යුද්ධයක් පසු ගිය සති කිහිපයක් තිස්සේ තිබූ අතර, පසු ගිය සිකුරාදා (23) එය උත්සන්න වෙමින්, ප්‍රධාන යුධ පිටිය වන බක්මුට් වෙතින් ඉවත්වූ වැග්නර් කුළී හමුදාව, මේ වන විට යුක්රේන දේශසීමාව හරහා මොස්කව් වෙත පැමිනෙමින් සිටී. අතර, අද මෙම සටහන ලිවීමට පැය කිහිපයකට පෙර ඔවුන් විසින් හමුදා ප්‍රහාරක වාහන වලට ආවරණය වෙමින්, Rostov-on-Don නගරයේ හමුදා කඳවුරු සහ රජයේ ආයතන වල බලය අත්පත් කර ගත්තේය. ඒ සමග රුසියානු ජනාධිපතිවරයා සඳහා වන හදිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මකව ඇති ඇතර මොස්කව් නගරයේ ආරක්ෂාව සඳහා රුසියානු ප්‍රහාරක යානා සහ විදීපුරා රුසියානු හමුදාව යොදවා ඇත. සියළු නගර වැසියන්ට නිවාස තුලට වී සිටින ලෙස දැනුම් දී ඇත.

මෙම සිදුවීම්දාමයේ ආසන්න ආරම්භය වන්නේ මෙයට සති කිහිපයකට පෙරය. බක්මුට් සටනේදී වැග්නර් හමුදාව විසින් තම සොල්දාදුවන් පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඇති බවත්, වැග්නර් බලකාය විසින් යුධපෙරමුන අරාජික කර ඇති බවත් ක්‍රෙම්ලිනයේ හමුදා නිලධාරියෙකු විසින් ප්‍රකාශ කිරීම මෙම සිද්ධි දාමයේ ආරම්භය වේ. පසුව Prigozhin ගේ මාධ්‍ය සේවය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක, වැග්නර් අණ දෙන නිලධාරීන් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට චෝදනා කළේ ඔවුන්ගේ කුලී හේවායන් සඳහා කෘතිමව ෂෙල් හිඟයක් ඇති කර විශාල ජීවිත හානි සිදු කළ බවට ය. වැග්නර්ගේ ප්‍රකාශයෙන් ක්‍රෙම්ලිනයට චෝදනා කරන්නේ, යුක්‍රේනයේ සැප්තැම්බර් 2022 ප්‍රතිප්‍රහාර අතරතුරදී, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ ඒකකවලට Kharkiv සහ Kherson වෙතින් පසුබැසීමට බලකිරීමෙන් පසුව, ඉදිරි පෙළේ තම වැග්නර් හමුදාවන්ගේ සාර්ථකත්වයන් ගැන රුසියානු හමුදා නායකයන් ඊර්ෂ්‍යා කරන බවයි.

“අපි මැයි 9 වන විට බක්මුට් අල්ලා ගැනීමට නියමිතව සිටිමු. ඒ බව දැන දැනත්, හමුදා නිලධාරීන් මැයි 1 වන දින අපගේ ෂෙල් සැපයුම් සම්පූර්ණයෙන්ම පාහේ කපා දැමුවා,” එම ප්‍රකාශයේ කියැවුනි. සිකුරාදා වැග්නර් විසින් කරන ලද ප්‍රකාශයක කියා සිටින්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ඒකක පැරාමිලිටරි කණ්ඩායමේ දෙපස ආවරණය කළ යුතු නමුත් එසේ එසේ නොකරන බවයි. යුක්රේන ස්ථාන වෙත අඛණ්ඩව පහර දීමට ප්‍රමාණවත් සම්පත් නොමැති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දිනපතා කුලී හේවායන් දුසිම් ගනනක් මරා දමන බවත් වැග්නර් අණ දෙන නිලධාරීන් වැඩිදුරටත් පවසයි.

යුක්රේන යුද්ධය අතර තුර ක්‍රෙම්ලිනය සහ එහි වඩාත්ම ප්‍රසිද්ධ පැරාමිලිටරි ඒකකය අතර සබඳතාවල අසාමාන්‍ය බිඳවැටීම් සිදුවෙමින් ඇත. යුද්ධයට බැරෑරුම් ලෙස සටන් නොකළහොත් රුසියාවට 1917 විප්ලවයට සමාන විප්ලවයකට මුහුණ දිය හැකි බවත් යුක්‍රේනයේ ගැටුම අහිමි විය හැකි බවත් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නිර්මාතෘ යෙව්ගනි ප්‍රිගොෂින් අනතුරු ඇඟවීය. රුසියාවේ බලවත්ම කුලී හේවායා වන ඔහු අද කියා සිටියේ තම දේශපාලන දැක්ම මාතෘ භූමියට ඇති ආදරය සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සේවය කිරීම මගින් ආධිපත්‍යය දැරූ බවයි, නමුත් රුසියාව කැලඹීමේ අවදානමක පවතින බව අනතුරු ඇඟවීය.

යුද්ධය අතරතුර රුසියානු හිරවෙල් වල සිටි වැරදිකරුවන් 50,000 ක් පමණ වැග්නර් හමුදාව සඳහා බඳවාගෙන ඇති අතර ඔවුන්ගෙන් 20% ක් පමණ මිය ගොස් ඇත. ඔහුගේ කොන්ත්‍රාත් සොල්දාදුවන්ගේ ප්‍රමාණයම – 10,000 ක් පමණ මිය ගොස් ඇති බව වැග්නර් හමුදා නායකයා පවසයි. කෙසේ වෙතත් ඇතැම් සොල්දාදුවන් සිරියාවෙන් සහ ලිබියාවෙන් බඳවා ගන්නට ඇතැයි ඇතැමුන් අනුමාන කරයි.

වැග්නර් නම මුලින්ම මතු වූයේ 2014 දී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමේදී ය. මෙම සංවිධානයට අරමුදල් සපයන්නේ රුසියානු ව්‍යාපාරිකයෙකු සහ පුටින්ගේ සමීපතම හිතවතෙකු වන ඉහත සඳහන් කල Yevgeny V. Prigozhin විසින් බව එක්සත් ජනපද රජය පවසා ඇත. පුටින්ගේ රාජ්‍ය භෝජන සංග්‍රහයන් සඳහා ආහාර සපයන්නේ ඔහුගේ ආහාර සැපයුම් ව්‍යාපාරය නිසා බැවින් ඔහු වඩා ප්‍රසිද්ධ “පුටින්ගේ අරක්කැමියා” ලෙසය.

මෙම හමුදා කණ්ඩායම ලෝකයේ කොතැනකවත් නීත්‍යානුකූල ආයතනයක් ලෙස ලියාපදිංචි වී නොමැත. රුසියානු නීතිය යටතේ කුලී හේවායන් නීති විරෝධී වන අතර රුසියානු රජය මෙම කණ්ඩාම සමග ඇති සබඳතා නිල වශයෙන් ප්‍රතික්ශේප කර ඇත. ඔවුන්ගේ සෙවණැලි පැවැත්ම රුසියාවට තම යුධ පිටියේ සිදු වූ හානි සුළු කොට තැකිය හැකි අතර වැග්නර් සටන්කාමීන් විසින් සිදු කරන ලද සාහසික ක්‍රියාවලින් ඈත් වීමට ඉඩ සලසන බව නිරීක්ෂකයෝ පවසති.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...