ලබන සඳුදා පුටුව හිස් වෙයි : ලිස්ට් එකේ චූදිතයන් 3ක් : ජනාධිපති එනකම් ඉන්නෙ – ටිරාන් අලස් : චෝදනා තියෙන කෙනෙකුට දෙන්න එපා – නීතිඥ සංගමය

Share post:

ලබන ජුනි 26දා පුරප්පාඩු වීමට නියමිත පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත.

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට පසුගිය මාර්තු 26දා ලබාදුන් මාස 3ක සේවා දිගුව මෙම මාස 26දා අවසන් වේ.

තීරණයක් නෑ – ඇමති

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනාට ම බරපතළ චෝදනා එල්ල වී ඇති තත්ත්වයක් තුළ මෙම පත්කිරීම ආන්දෝලනයට තුඩු දෙනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් පැවසුවේ මීළඟ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට නිල විදේශ සංචාරයක නිරත ව සිටින නිසා, ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු එම තීරණය ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

චූදිතයන්ට දුන්නොත් ?

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ නව පොලිස්පතිවරයා පත්කිරීමේදී මූලික අයිතිවාසිකම් කඩකිරීමේ සහ අපරාධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ව සලකා බලන ලෙසයි. එවැනි පත්කිරීමක් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේදී තීරණාත්මක ලෙස බලපෑම් කරනු ඇතැයි ද එම සංගමය සඳහන් කර තිබිණි.

ජ්‍යෙෂ්ඨයන්ගේ තත්ත්වය

පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ මීළඟට සිටින නිලධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක තීන්දුව මගින් ඔහු වරදකරු කර ඇත. එසේ ම ඔහුට එරෙහිව පොලිසිය අභ්‍යන්තරයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk වෙත පැවසූ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අදහස් දැක්වීමට අනුව thetime.lk ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තමාරා ඩි. පෙරේරාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එහිදී ලේකම්වරිය සඳහන් කළේ කොමිසම මගින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වන විමර්ශනය සිදුකරන බවයි. එම විමර්ශනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමේදී ලේකම්වරිය පැවසුවේ තමන් එහි කටයුතු පිළිබඳ යාවත්කාලීන වී නොමැති බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණ කමිටුව ප්‍රකාශයක් හෝ ගෙන තිබේදැයි විමසීමේදී එය ද තමන් නොදන්නා බව ලේකම්වරිය පැවසීය.

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවැනි ප්‍රකාශයක් හෝ මෙතෙක් ලබාගෙන නැති බවකි.

දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ නිලන්ත ජයවර්ධනට පසු සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට සහ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එසේ ම දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව 2022 මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය, ජනාධිපති මන්දිරයෙන් හමුවූ රුපියල් ලක්ෂ 170කට මුදල සම්බන්ධයෙන් විමර්ශනවලට බලපෑම් කිරීම, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් ද එල්ල වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...