අනීතික අත්අඩංගුවට ගැනීම් : හෙට ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 53 වැනි සැසිවාරයේදී විශේෂ අවධානයට !

548
ඡායාරූපය : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 52 වැනි සැසිවාරයේ ඡායාරූපයකි.

ජනතාවගේ සාමූහික අරගලය පැවති කාලය තුළ සහ ඉන්පසු සිදු කළ අනීතික අත්අඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යෑම් සම්බන්ධයෙන් හෙට (19) ආරම්භ කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 53 වැනි සැසිවාරයේදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිත ය.

රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කරන්නේ වාචික ව මේ පිළිබඳ සංවාදයක් සැසිවාරයේදී පැවැත්වෙනු ඇති බවයි. එම සංවාදයේ ආරම්භය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් වෝකර් ටුර්ක් (Volker Turk) විසින් ගැනීමට නියමිත ය. කොමිසමේ 8 වැනි මහ කොමසාරිස්වරයා ලෙස ඔහු පත්වූයේ පසුගිය ඔක්තෝබර් 17දා ය.

මහ කොමසාරිස්වරයාගේ මෙම වාචික අදහස් දැක්වීමට ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ ප්‍රමාණය සහ ඊට අදාළ කරුණු ඇතුළත් වනු ඇතැයි ද අදාළ ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි කොමිසමේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම සැසිවාරය අවසන් වන්නේ ජූලි 14දා ය.