පාස්කු ප්‍රහාරය : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නිදහසේ : සැරයන්ට බරපතළ දඬුවම් !

Share post:

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු තමන්ට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම නිලධාරියාට විරුද්ධව පවත්වන ලද මූලික විමර්ශනයේදී විනය කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ බවයි. එහිදී සියලුම චෝදනාවලට වරද පිළිගත් නිසා ඔහුව සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.

මේ අනුව ඔහු පසුගිය 14දා සිට සේවයෙන් පහකොට තිබේ.

ඉහළ නිලධාරීන්ට නිදහස ?

මේ අතර වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම ලැබීමෙන් පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනා ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් හෝ චෝදනා ලැබූ තැනැත්තන් හෝ වීම විශේෂත්වයකි.

මීළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ අයෙකි. ඊළඟට ලැයිස්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට සහ දේශබන්දු තෙන්නකෝන්ට ද ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 2කදී ඔවුන් මීට වගකිවයුත්තන් බව සඳහන් කර, විමර්ශන පැවැත්විය යුතු බවට නිර්දේශ කර ඇති අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ද සකස් කොට බාරදෙන ලදි.

ලිස්ට් එක ?

මෙම නිලධාරීන් තිදෙනාගෙන් පසු ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය. ඔහුට එරෙහිව මෙතෙක් බරපතළ අපරාධ චෝදනා එල්ල වී නැති බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

මෙම නිලධාරීන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම්.ඩී.ආර්.එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න පිළිවෙළින් පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටිති.

චෝදනා පත්‍රවලට සිදුවන්නේ කුමක්ද?

මේ අතර පසුගිය මැයි 09දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 04කට පසු එම ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී වගකීම් පැහැර හැර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර අනුමත කර එම නිලධාරීන් වෙත යවන ලදි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් නිලධාරීන් සිව්දෙනෙකුට යොමු කර තිබූ අතර, එම නිලධාරීන් සිව්දෙනාගෙන් ඇතැම් නිලධාරීන් තමන් යටතේ සිටින  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට මේ ගැන දැනුම් දී තිබියදී එම නිලධාරීන් එම නියෝග නිසි ලෙස ඉටු කරමින් ආරක්ෂාව ගැන සොයා බලා නැති බවත්, ඔවුන් නිසියාකාරව කටයුතු කළේ නම් මෙම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබූ බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ මලල්ගොඩ කමිටු වාර්තාවේ සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරීසක් ද මෙසේ චෝදනා පත්‍ර යොමු කෙරුණු පිරිස අතර සිටිති.

පොලිස්පති විමර්ශනය

2019 අප්‍රේල් 21දා එල්ල වූ ප්‍රහාරයෙන් පසු නිලධාරීන් 11 දෙනෙකුගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඒ පිළිබඳ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන්නේය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ ගැන විමර්ශනය කිරීමෙන් පසු එහි නම සඳහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හැර සෙසු නිලධාරීන් 10 දෙනාට එරෙහිව විනය පියවර ගත යුතු බවට නිර්දේශ කළේය. එහෙත් මෙහිදී චෝදනා පත්‍ර කෙටුම්පත් කර තිබුණේ දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, නන්දන මුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සම්බන්ධයෙන් පමණි. විශේෂ විමර්ශන ඒකකය  චෝදනා පත්‍ර කෙටුම්පත් කර වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළ අතර, වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම චෝදනා පත්‍ර 2020 ජනවාරි මාසයේදී ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය.

කොමිෂන් සභා තීරණ

ඒ වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කර තිබිණි. එම නිසා කොමිෂන් සභා වාර්තාව එන තෙක් චෝදනා පත්‍ර ලබා නොදීමට 2020 පෙබරවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.

අදාළ ජනාධිපති කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව සහ වෙළුම් 2021 පෙබරවාරි 01දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාර දුන් අතර, ඒ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමට තිබූ බලතල ඉවත් කර එම බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා තිබිණි.

කවුද ?

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2021 ජුනි 15දා අදාළ චෝදනා පත්‍ර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලදි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.කේ.සී.  අතුකෝරල, පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරි කේ.එම්.ආර්.එස්.බී. කුමාරසේන සහ සහකාර පොලිස් අධිකාරි එච්.බී.එස්.එස්. සිසිර කුමාර මෙසේ චෝදනා පත්‍ර සකසා කෙරුණු පිරිස ය.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඩී.කේ.සී. නවරත්න, පොලිස් පරීක්ෂක පී. එස්. උපේන්ද්‍ර, පොලිස් පරීක්ෂක ඒ. එම්. එස්. අබේසිංහ, පොලිස් පරීක්ෂක එම්. ඒ. සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ඒ. එල්. ජී. ආර්. කුමාර, පොලිස් සැරයන් සුනිල් ආර්යසිංහ, පොලිස් සැරයන් ආර්. එස්. රාජපක්ෂ, පොලිස් සැරයන් එච්. එම්. ඩී. එස්. හඳපාන්ගොඩ, පොලිස් සැරයන් එම්. එම්. නිශාන්ත සහ පොලිස් කොස්තාපල් කේ. ජී. එස්. සම්පත් යන පිරිසට ද වහාම චෝදනා පත්‍ර ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිසම මගින් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

මේ අතර පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපියක් යවමින් මෙම නිලධාරීන් අපරාධ නඩුවල සාක්ෂිකරුවන් විය හැකි බැවින් චෝදනා පත්‍ර ලබානොදෙන ලෙස ඉල්ලා තිබූ අතර, ඉන්පසු චෝදනා පත්‍ර ලබාදීමක් සිදු නොවීය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...