එකමත් එක රටක එකමත් එක සිහිනෙක
බිම් කඩක් විය වැසුණු ඝන වනයෙන් ;
මතකෙන් බැහැර එක්තරා දුර කලෙක
රජ කළේ මරු එහි, රුදු යුද ගැටුම් බලයෙන්.
අදත් මරු බිමකි එය ගොර සපුන් ගැවසෙන ,
ඉවට නොහසුවන බිම් බෝම්බය තැන තැන
භූ-චුම්බක කුණාටුය නොකියා නොදන්වා එන;
නොපිපිරී යනුව එය මැදින්
මාලිමාවකින් වුව පලක් වෙද ඉදින් !
නැසුණි පරපුරක හපනුන් අපමණ
‘ අතරණීයයි.’ කීහ වෙහෙසට පත් දන.
එහෙත් ඉන් ඔබ්බෙහි
අත් හළ නොහැකි සිහිනෙකි ;
පාලුවට ගිය සදා පල බර උයනකි .
පැරැණ්නන් මග තොට සොයා ගත් අයුරින්
යා යුතුයි අහස් සිතියමට නෙත් යොමමින් ,
දුම් රේඛා දාවල , තරු ලකුණු රෑ බලමින් –
වියතෙකු දුන් උපා මග – එමග විනිවිදිනුව.
එබස් අදහා මගට බට පළමු මගියා
අහසට ගත් එල්ලය නොබිඳ රඳවා ඇස
තරණයට ගිය මුත් එලෙස නොනමා හිස,
කල් නොගොස් බිළිවුනි රුදු සපුනට –
නැතොත් අදිසි බෝම්බයකට.
දෙවන මගියෙක් පැමිණේ;
බිම පීරා බලමින් සපුන් මග හරිමින්
බෝම්බ ද නොපාගා සීරුවෙන් ගිය මුත්
එල්ලය නොගත්තෙන් තරු ලකුණු විමසා
වැනසුණි මං මුලාවී, බැට කා සයින් පවසින්.
උවමනා වී තිබේ මගියෙක්
අහස් ලකුණු ද බලමින් දුම් රේඛා ද දකිමින්
පොළොව ද අඟලින් අඟල පාදා මග සදමින්
අහර ද පැන් ද ගමන් මල්ලේ බහා ගෙන
ඉවසිල්ලෙන් සිහියෙන් තරණයට යන.
තෙවන මගියා ඒ, මෙතෙක් නැත ඇවිදින් ..,