නෙත්තිකුමාර නිවසේ සේවිකාව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි : මියගිය රාජ්කුමාරි ගැන පොලිස් පොත්වල නෑ !

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කරමින් සිටියදී වැලිකඩ පොලිසිය මගින් ආර්. රාජකුමාරි අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලේඛනයේ සඳහන් නොකොට බව අද (19) අධිකරණයේදී අනාවරණය විය.

මෙම නඩුව අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ පොලිසිය ඒ බව පිළිගන්නා ලදි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව අධිකරණයේදී තහවුරු වී තිබේ.

මේ අවස්ථාවේදී මියගිය කාන්තාව වෙනුවෙන් පෙනීසිටින නීතිඥ මංජුල පතිරාජ අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය යටතේ මෙම සිද්ධිය පිළිබඳ උසස් නිලධාරියෙක් මගින් විමර්ශනයක් පැවැත්වීමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාට නොතීසි නිකුත් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 11 වැනි පරිච්ඡේදයේ 125 වගන්තිය

‘මේ පනතෙහි හෝ වෙනත් යම් නිතියක කුමක් සඳහන් ව ඇත ද, මේ පරිච්ඡේදය යටතේ වූ යම් විමර්ශනයක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පදවියට වඩා පහත නොවන පදවියක යම් පොලිස් නිලධරයකු විසින් ඕනෑම අවස්ථාවකදී බාරගනු ලැබීම හා ඒ විමර්ශනය පවත්වාගෙන යෑම හා මෙහෙයවීම ද, ඒ කාර්යය සඳහා තමන් විසින් තෝරාගනු ලැබූ යම් පොලිස් නිලධරයකු විසින් හෝ දිවයිනේ යම් පළාතකින් ගෙන්වා ගනු ලැබූ විශේෂයෙන් තෝරාගත් පොලිස් නිලධරයන් කණ්ඩායමක් විසින් ඒ විමර්ශනය හෝ එහි යම් කොටසක් හෝ පවත්වාගෙන යනු ලැබීමට සැලැස්වීම නීත්‍යනුකුල විය යුතුය.’

ලබන 24දා නඩුව නැවත කැඳවීමට නියමිත ය.

පොලිසියෙන් පහරදීම

මේ අතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිය බිරිඳට බරපතළ ලෙස පහර දී ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා වන සෙල්ලදුරේ යේසුරාසා පැවසීය.

රෝහලේදී තමන් බිරිඳගේ මළ සිරුර දුටු බවත්, එහි පහරදීමෙන් ඇති වූ සලකුණු සහ තැලීම් රැසක් තිබූ බවත් සඳහන් කළ යේසුරාසා, බිරිඳ පොලිසියේ සිටියදී තමන් දෙවැනි වර දුරකතනයෙන් කතා කරන විට ඊට මුලින්ම පිළිතුරු දුන්නේ සුධර්මා නෙත්තිකුමාර බව ද පැවසීය. ඇය මුලින් කතා කොට, පසුව දුරකතනය බිරිඳට ලබාදුන් බවත්, එහිදී තමන්ට පහර දෙන බව සහ අමාරු බව බිරිඳ පැවසූ බවත් යේසුරාසා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිවේදීන් පවසන්නේ යේසුරාසාගේ ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය පහර දෙන අවස්ථාවේ සුධර්මා නෙත්තිකුමාර ද එහි සිට ඇති බවයි. එසේ ම අත්අඩංගුවට ගත් මෙම තැනැත්තියගේ දුරකතනය පොලිසිය බාරයේ තිබිය යුතු වුවද, දුරකතනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ නෙත්තිකුමාර ය.

තිදරු මවක්

තිදරු මවක වූ 41 හැවිරිදි ආර්. රාජ්කුමාරි බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ ස්වාමි පුරුෂයා වන යේසුරාසා අම්පාර ප්‍රදේශයේ උක් ගැස් කැපීමේ රැකියාවක නිරත ව සිටී. ඔවුන්ගේ දරුවන්ගේ වයස පිළිවෙලින් අවුරුදු 13, 11 සහ 07ක් වේ.  

යේසුරාසා පවසන්නේ ඇය නිරෝගී කාන්තාවක බවත්, දීර්ඝ කාලීන අසනීප තත්ත්ව කිසිවක් අයට නොතිබුණු බවත් ය.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය.

රත්තරන් මුදුව

අදාළ නිවසේ තිබූ රත්තරන් මුදුවක් නැති වීම සම්බන්ධයෙන් එහි සේවය කළ මෙම කාන්තාවට එරෙහිව නිවැසියන් පසුගිය 11දා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඇයට බරපතළ ලෙස පහර දී ඇතැයි අනාවරණය වෙමින් පවතී. පහරදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් ඇය ව, පොලිසිය මගින් කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පවත්වනු ලබයි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව වැලිකඩ පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් කිහිපදෙනෙකු මීට අදාළ ව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මියගිය රාජ්කුමාරිට පොලිසියට රැගෙන එන විටත් පහර දී තිබූ බවකි. එසේ ම නිවැසියන් විසින් එම කරුණු වසන් කිරීමේ දැඩි උත්සාහයක යෙදී සිටින බවත්, පොලිසියේ පහර දීම මත පමණක් ඇය මියගිය බවත්, සුධර්මා නෙත්තිකුමාර පොලිසියේ කටයුතුවලට මැදිහත් නොවූ බව පෙන්වීමට උත්සාහ කරන බවත් සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, ඒ සඳහා ඔවුන්ට හිතවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිටු යොදාගනිමින් සිටින බවත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සුධර්මා නෙත්තිකුමාරගේ පාර්ශ්වයෙන් අදහසක් ලබාගැනීමට අප විවිධාකාරයෙන් උත්සාහ කළ ද, එය අසාර්ථක විය. ඔවුන්ට සමීප පාර්ශ්ව සඳහන් කළේ සිදුවීම පිළිබඳව මාධ්‍යයට කිසිදු අදහසක් පළනොකිරීමේ ස්ථාවරයක ඔවුන් සිටින බවයි.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...