සුධර්මා ඉන්න තැන පොලිසියෙන් රාජ්කුමාරිට පහර දීලා : සිරුරේ පහරකෑ සලකුණු රැසක් : නෙත්තිකුමාර නිහඬ ව සිටීමේ ස්ථාවරයක !

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිය බිරිඳට බරපතළ ලෙස පහර දී ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා වන සෙල්ලදුරේ යේසුරාසා පැවසීය.

රෝහලේදී තමන් බිරිඳගේ මළ සිරුර දුටු බවත්, එහි පහරදීමෙන් ඇති වූ සලකුණු සහ තැලීම් රැසක් තිබූ බවත් සඳහන් කළ යේසුරාසා, බිරිඳ පොලිසියේ සිටියදී තමන් දෙවැනි වර දුරකතනයෙන් කතා කරන විට ඊට මුලින්ම පිළිතුරු දුන්නේ සුධර්මා නෙත්තිකුමාර බව ද පැවසීය. ඇය මුලින් කතා කොට, පසුව දුරකතනය බිරිඳට ලබාදුන් බවත්, එහිදී තමන්ට පහර දෙන බව සහ අමාරු බව බිරිඳ පැවසූ බවත් යේසුරාසා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිවේදීන් පවසන්නේ යේසුරාසාගේ ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය පහර දෙන අවස්ථාවේ සුධර්මා නෙත්තිකුමාර ද එහි සිට ඇති බවයි. එසේ ම අත්අඩංගුවට ගත් මෙම තැනැත්තියගේ දුරකතනය පොලිසිය බාරයේ තිබිය යුතු වුවද, දුරකතනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ නෙත්තිකුමාර ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (17) අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, හෙට (19) මීට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කෙරිණි.

තිදරු මවක වූ 41 හැවිරිදි ආර්. රාජ්කුමාරි බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ ස්වාමි පුරුෂයා වන යේසුරාසා අම්පාර ප්‍රදේශයේ උක් ගැස් කැපීමේ රැකියාවක නිරත ව සිටී. ඔවුන්ගේ දරුවන්ගේ වයස පිළිවෙලින් අවුරුදු 13, 11 සහ 07ක් වේ.  

යේසුරාසා පවසන්නේ ඇය නිරෝගී කාන්තාවක බවත්, දීර්ඝ කාලීන අසනීප තත්ත්ව කිසිවක් අයට නොතිබුණු බවත් ය.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය.

අදාළ නිවසේ තිබූ රත්තරන් මුදුවක් නැති වීම සම්බන්ධයෙන් එහි සේවය කළ මෙම කාන්තාවට එරෙහිව නිවැසියන් පසුගිය 11දා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අයට බරපතළ ලෙස පහර දී ඇතැයි අනාවරණය වෙමින් පවතී. පහරදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් ඇය ව, පොලිසිය මගින් කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පවත්වනු ලබයි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව වැලිකඩ පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් කිහිපදෙනෙකු මීට අදාළ ව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මියගිය රාජ්කුමාරිට පොලිසියට රැගෙන එන විටත් පහර දී තිබූ බවකි. එසේ ම නිවැසියන් විසින් එම කරුණු වසන් කිරීමේ දැඩි උත්සාහයක යෙදී සිටින බවත්, පොලිසියේ පහර දීම මත පමණක් ඇය මියගිය බවත්, සුධර්මා නෙත්තිකුමාර පොලිසියේ කටයුතුවලට මැදිහත් නොවූ බව පෙන්වීමට උත්සාහ කරන බවත් සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, ඒ සඳහා ඔවුන්ට හිතවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිටු යොදාගනිමින් සිටින බවත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සුධර්මා නෙත්තිකුමාරගේ පාර්ශ්වයෙන් අදහසක් ලබාගැනීමට අප විවිධාකාරයෙන් උත්සාහ කළ ද, එය අසාර්ථක විය. ඔවුන්ට සමීප පාර්ශ්ව සඳහන් කළේ සිදුවීම පිළිබඳව මාධ්‍යයට කිසිදු අදහසක් පළනොකිරීමේ ස්ථාවරයක ඔවුන් සිටින බවයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...