පොලිසිය අධිකරණයේදී මැරයන්ගේ පැත්ත ගනී : පියත් නිකේෂල රිමාන්ඩ් කරන්න හදයි – උප නගරාධිපතිට ඇප දෙනවට කිසිදු විරෝධයක් නෑ !

Share post:

කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂලගේ නිවසට යන මාර්ගය හරස් කර, ඔහුට සහ ඔහුගේ වාහනයට පහරදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබියදී, උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ලක් මත පහර කෑ පියත් නිකේෂල ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

පසුගිය වසරේ පැවති ගෝඨාගෝගම විරෝධතාවයේ සක්‍රීයව සිටි පියත් නිකේෂල රාජකාරි නිම වී සිය නිවසට යමින් සිටියදී පෙරේදා (10) පස්වරුවේ කඩුවෙල හිටපු උප නගරාධිපති ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක්විය. පියත්ගේ වාහනයට ද එම පිරිස විසින් දැඩි අලාබහානි සිදු කර තිබිණි. ඔවුන්ගෙන් පහර කෑ පියත් නිකේෂල තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි. ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පියත් නිකේෂල රෝහල් ගත වූ පසු, පහර දුන් හිටපු උප නගරාධිපතිවරයා ද පියත්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් උප නගරාධිපතිවරයා 10දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් පොලිසිය, පහරකෑමට ලක්වූ පියත් නිකේෂල ද උප නගරාධිපතිවරයාගේ ව්‍යාජ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තේය.

හේතුව ?

මෙම හිටපු උප නගරාධිපතිවරයා 2022 මැයි 09දා ගෝඨාගෝගම විරෝධතාවට පහරදීමට පැමිණි අවස්ථාවේ දී පිරිසක් විසින් බේරේ වැවේ ගිල්වා ඇතැයි ද, ඊට අදාළ වීඩියෝවක් පියත් නිකේෂල පසුගිය 09දා ‌ෆේස්බුක්හි පළකර ඇතැයි ද, ඊට උරණ වූ උප නගරාධිපතිවරයා මැර පිරිසක් සමග පැමිණ පියත්ට පහර දී ඇතැයි ද මීට අදාළ නඩුවේදී නීතිඥවරු පැවසූහ.

වෛද්‍ය වාර්තා

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය කඩුුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. පහර කෑ පියත් නිකේෂල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් පියත් නිකේෂලට පහරදීම සිදු කළ පුද්ගලයා රෝහල්ගත වී ඇතැයි ද, ඔහු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කර අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවිය යුතුයැයි ද සඳහන් කරමින් එම වාර්තාව ලබාගැනීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව හිටපු උප නගරාධිපතිවරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කර වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කළේය. දෙදෙනා ම මේ වන විට රෝහල්ගතව සිටින නිසා ඔවුන් පරීක්ෂා කර බලා තීන්දුවක් ගැනීම සඳහා පියත්ට එරෙහි නඩුව සහ උප නගරාධිපතිට එරෙහි නඩුව කොළඹ අලුත්කඩේ අංක 08 අධිකරණයටත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයටත් යොමු කෙරිණි.

ඇපදෙන්න එපා – පොලිසිය

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට පැමිණ පියත් නිකේෂල නිරීක්ෂණය කළ අතර, විමර්ශන තවම අවසන් නැති නිසා ඔහුට ඇප ලබානොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. එහිදී පියත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක මාධව නන්දසිරි සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ කරුණු දක්වමින් පහරකෑමට ලක්වූයේ පියත් බව අවධාරණය කළහ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පියත් නිකේෂල ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

වාහන කීයක්ද ?

අලුත්කඩේ අංක 08 අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මුල්ලේරියාව රෝහලට ගොස් සැකකාර උපනගරාධිපතිවරයා පරීක්ෂා කළ අතර, ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් අගතියට පත් පියත් නිකේෂලගේ පාර්ශ්වයේ නීතිඥවරු විරෝධය පළ කළහ. නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරු ප්‍රකාශ කළේ පහරදීම සඳහා වාහන දෙකක් පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ පහරදීම සඳහා පැමිණියේ එක් වාහනයක් පමණක් බවයි. සැකකාර උප නගරාධිපතිවරයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය විරෝධය දැක්වූයේ නැත. ඒ අනුව සැකකාර උප නගරාධිපතිවරයා ද ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.

සාධාරණ සැකය ?

උප නගරාධිපතිවරයා ඇතුළු පිරිස පියත්ගේ වාහනය හරස් කොට නතර කර, ඔහුට පහරදීමට පැමිණෙන අයුරු සහ පහර දෙන අයුරු වීඩියෝගත වී තිබිණි. එසේ තිබියදී පහරදීමට පැමිණි සෙසු පිරිස මෙතෙක් අත්අඩංගුවට නොගත් පොලිසිය, උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ල මත පියත් නිකේෂල අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව නීතිඥවරු පවසති. පොලිසිය පුද්ගලයකු අත්අඩංගුවට ගත යුත්තේ සාධාරණ සැකයක් ඇත්නම් පමණක් බවත්, එම සාධාරණ සැකය හේතු පැහැදිලි කළ හැකි සැකයක් විය යුතු බවත්, පියත් අත්අඩංගුවට ගැනීමට අදාළ ව එවැනි සාධාරණ සැකයක් නැති බවත්, පොලිසිය හරි නම් කළ යුතුව තිබුණේ ව්‍යාජ පැමිණිල්ලක් දැමීම සම්බන්ධයෙන් උප නගරාධිපතිට එරෙහිව තවත් නඩුවක් පැවරීම බවත් නීතිඥවරු වැඩිදුරටත් සඳහන් කරති.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...