තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ කොළඹ එති

Share post:

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

මඟ දි
ජල ප්‍රහාර දෙන තරමට හොඳයි
කුර ගගා ගැල් අදින
ගොනුන් ඉන්නෙත් පිපාසෙන්.

උහුලන්නෙ කොහොම ද
කරත්ත රෝද
බෞද්ධාලෝක මාවතේ එරෙනකොට.
ගැල් පන්සීයෙ ම තියෙන්නෙ
කුස තණ යි පුන්නක්කුයි…..

නැමෙනවා රූපවාහිනී කුළුණ
ලිප්ටන් වටරවුම උඩට
තැලිච්ච පතෝල කරලක් වගේ……
නෙළුම් පොහොට්ටුවක්
ඉහ මුදුනේ අටෝගත්
කෙහෙල් බඩයක් ඇඹරුණා උසට උසේ.

බී එම් අයි සී එච්
වතුර පොකුණට පැනලා
ජකිරි බකිරි ගහනවා
ඩී. එස්. සේනානායකගෙ
එංගලන්ත අස්පයෙක්…….

විහාර මහාදේවී උද්‍යානෙ
රූස්ස ගස් මුඳුන්වල
ටයි කෝට් ඇඳගෙන
පොලිතීන් ලන්කට් ඔළුවේ දමාගත්
සම ලිංගික වඳුරෝ
ඉංග්‍රීසි කුණුහබ්බ කිය කියා
ලංසි පැපොල් හොයනවා.

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

කපුටෙක් ඉගිලුණා
රොස්මිඩ් මාර ගස් උඩින්
හොටින් ගැජට් එකක් ඩැහැගෙන.
බණ්ඩාරනායක දුම් බීපු
කළු පාට පයිප්පෙ ද මන්දා.

ගොනුන්ගෙ
ගොම හැලෙයි ද මන්දා
ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂ උඩට……
හැබැයි මේ ගොනුන්ගෙ
වෘෂණ කෝෂ ලොකුයි
ශබ්ද කෝෂවලට වැඩිය.

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

ඔළුව අතින් අරගෙන
ටවර් රඟහල ගාව හිටගෙන
සිරිසඟබෝ කවන්ධය.

පුරන් අප්පු
කඩුවෙන් කොටනවා
නිදහස් මන්දිරේ අත්තිවාරමට.

සරදියෙල් ඉන්නවා
කැප් තුවක්කුවකුත් තියාගෙන
බොරැල්ල කනත්තේ දොරටුව ළඟ.
සොහොනකට වෙඩි තියන්න ද මන්දා…..
නිදාගෙන ඉන්න
අහිංසක ජෝතිපාලත්
ඇහැරුනොත් පව්.

පොළොන්නරුවේ
පරාක්‍රම බාහු පිළිමෙට
යූරියා අමුඩ මහන සන්නාලියන්
මීටරේ කෝදුවෙන්
ගැල් සාත්තුවේ දිග මනිනවා……….

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

බොරැල්ලෙ සැලුන් එකක
කොල්වින්ගෙ කොණ්ඩෙ කපනවා
ඇන්. ඇම්. ……………
වැලි ගලක උල උලා
දැලි පිහිය මුවත් තියන්නෙ
විජේවීර ද මන්දා……..

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

රත්තරං පාට සිද්ධස්ථානෙක මිදුලේ
චීවරයක් ඇඳගත්
විනාකිරි බේරෙන සරාගී හිටි පිළිමයක්
නාරි ලතාවට ඇවිදිනකොට
කොළඹ උපාසක නෑම්බියො
වට්ටක්කා තට්ටම් ගෙඩිවලින්
තම්මැට්ටම් ගහනවා…….

ඒ සක්මන් කරන්නේ
පිත්තලෙන් මාර්ග පල ලබපු
රහතන්වහන්සේ නමක් ද මන්දා……

නික්මී
උත්තල ජනපදයෙන්
පිත්තල හංදියෙන් හැරී
ගැල් පන්සීයක් පාරේ යනකොට
බ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….?

මඟ දි
ජල ප්‍රහාර දෙන තරමට හොඳයි
කුර ගගා ගැල් අදින
ගොනුන් ඉන්නෙත් පිපාසෙන්.

උත්තල ජනපදේ ඉඳන්
ගව් සියක් ගව් දුර ගෙවාගෙන ආපු
ගැල් සාත්තුව
බන්ධනාගාරයක් ගාව නැවතුණා.

ජේලර් මහත්තයෙකුට ළංවෙලා
තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ
රහසින් වගේ මෙහෙම ඇහුවා.

“ආයුබොවන්ඩ සුපින්වත……
අපි ආවේ
ගෞතම බුදුන්ගේ කාලේ ඉඳන්
යොදුන් සිය දහසක් ගෙවාගෙන
ගැල් පන්සීයෙ ම
කුස තණ යි පුන්නක්කුයි පටෝගෙන…….
අපිට පොඩ්ඩක් දකින්න පුළුවන් ද අර
අත් අඩංගුවට ගත්තපු
රහතන්වහන්සේ…….!”

කුමාර හෙට්ටිආරච්චි

Related articles

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...