අහුන්ගල්ලේ ඝාතනය : පොලිස් නිල සුනඛයා යුද හමුදා බුද්ධි කඳවුරට යයි : සිද්ධිය ඇත්ත – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

Share post:

අහුන්ගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේ පසුගිය 14දා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යොදවන ලද පොලිස් නිල සුනඛයෙකු ඒ ආසන්නයේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරට ඇතුළු වීම බරපතළ සැක මතුකර තිබේ.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් අදාළ කරුණ තහවුරු කළේය. පොලිස් නිල සුනඛයා එම කඳවුරට ඇතුළු වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සඳහා පොලිසියට අවශ්‍ය සියලු සහාය ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් දුන් බවත් අප කළ විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධියෙන් පසු එදින කඳවුරෙන් නිකුත් කළ ගිනි අවි 36ක් පොලිස් බාරයට ගැනීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ පරීක්ෂණ අවශ්‍යතා මත එම ගිනි අවි පොලිස් බාරයට ගෙන ඇති බවයි.

දරුවන් දෙදෙනෙකු ද රැගෙන යතුරුපැදියක ගමන් කරමින් සිටියදී අවුරුදු 29ක් වයසැති තරිඳු නිසංසල වෙඩි තබා ඝාතනය කර තිබිණි. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය එදින වාර්තා කළේය.

ඝාතකයන් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියක් බුද්ධි බලකා කඳවුර ආසන්නයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ. ඉන්පසු පොලිස් නිල සුනඛයන් යොදවා ඇති අතර, ඒ අතරින් එක් සුනඛයෙකු යතුරු පැදිය අසල සිට කෙලින්ම කඳවුරේ වැට යටින් රිංගා ඒ තුළට ගොස් තිබේ. ඉන්පසු එම සුනඛයා කඳවුර තුළ එක් ස්ථානයක වාඩි වී සහ ඒ අසල ඇවිදිමින් සිටි බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලයේ සිදු වූ තීරණාත්මක ඝාතන සහ අතුරුදන් කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් ද යුද හමුදා බුද්ධි අංශයට චෝදනා එල්ල විය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, මාධ්‍යවේදීන් වන නාමල් පෙරේරාට පහර දීම සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම ඒ අතර ප්‍රධාන වේ. මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනුණු අතර, බුද්ධි නිලධාරීන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ද ගොනුකර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...