වර්ජනය කෘර ලෙස මර්දනය කරන්න : ගිජු ලිහිණි මාධ්‍ය ලේ ඉල්ලයි !

Share post:

ක්‍රියාත්මක වැඩවර්ජන සම්බන්ධ විවේචන ගොඩනගමින් එම වර්ජකයන් කෘර ලෙස මර්දනය කරන ලෙස DailyMirror පුවත්පත ඉල්ලා සිටී.

විවාදයට ලක්ව තිබෙන බදු සංශෝධනය බලපාන අය හා වර්ජනයට සහයෝගය දෙන අය සංසන්දනය කරමින් DailyMirror පුවත්පතේ ඊයේ (14) දින කතුවැකිය තුළ අපූරු තර්ක ගොඩනගයි.

ප්‍රධාන වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් සහ දේශපාලන පක්ෂ මෙම විරෝධය ගොඩනගන බව කියන කතුවරයා, මේ රටේ ජනතාවට සහන දෙන්නේ රජය අයකරන බදුවලින් බව කියමින් බදු අයකරගැනීමට විරුද්ධ අය එම සහන ප්‍රතික්ෂේප කරන බවට අවලාද නගයි. එසේම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන ශිෂ්‍යයන් මහත් ඝෝෂා කරමින් ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයට වැයකරන බදු අඩුකරමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමටදැයි කතුවරයා අසයි.

මේ රටේ ජීවත්වන සාමාන්‍ය වැසියන් පවා මේ වන විට ඇතිව තිබෙන ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවන් පාලකයන් බව පිළිගන්නා අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි දනී.

DailyMirror කතුවරයා ඊයේ පෙරේදා උපන් එකකු මෙන් මේ ලියන්නේ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයාට ය. නමුත් පාඨකයන් කතුවරයාට වඩා මේ රටේ ඉතිහාසයේ බදු වංචාකරුවන් කවුරුන්ද යන වගත්, හිටපු ජනාධිපති ගෝඨා ඇතුළු වත්මන් ආණ්ඩුවේ රාජපක්ෂ කල්ලිය ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් බදු සංශෝධන සහ වැරදි ආර්ථික පිළිවෙත් මගින් ආර්ථිකය කාබාසිනියා කළ හැටිත් දනී. සමස්තයක් ලෙස 80 දසකයේ පටන් ම මේ රටේ ආර්ථිකය දක්කාගෙන ගියේ IMF ඇතුළු ලෝක අධිරාජ්‍යවාදයේ නිර්දේශයන් තුළ නවලිබරල්වාදී වැඩපිළිවෙළක බව රහසක් නොවේ. දැන් රනිල් ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ පිළිවෙත වන්නේ එම මාවතේ ම ඉදිරියට යමින් ජනතාව මත බදු පටවමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට ය.

පසුගිය දසකයක කාලය තුළ මේ රටේ බදු වංචා කළ සමාගම්, ධනකුවේරයන් සම්බන්ධ තොරතුරු අනාවරණය කරන්නේද මෙම පුවත්පත්වල ම ය. ආනයන-අපනයන වෙළඳාම තුළින් බිලියන පනස් ගණනක් මෙරටට නොගෙන්වා වංචනිකව ආයෝජනය කරන්නට හෝ තැන්පත් කරන්නට කටයුතු කර ඇත්තේ ශිෂ්‍යයන් හෝ වෘත්තිය සමිති හෝ නොවන බව ද කතුවරයා හොඳින්ම දනී.

මේ හා සමානව කතුවැකිය කොලම සමීපයෙන් පළවන කොලමකින් ‘මාධ්‍යවේදී’ රංග ජයසූරිය කියන්නේ චිලියේ පිනෝචේ, ඉන්දුනීසියාවේ සුහර්තෝ, චීනයේ චියැං කායි ෂෙක් වැනි අපරාධකරුවන් විසින් සිදු කළ ආකාරයට කටයුතු කළ යුතු බව ය.

එම රටවල එම පාලකයන් අනුගමනය කළ කෘර මර්දනය සාධාරණිකරණය කරමින් රංග ජයසූරිය පවසන්නේ එවැනි සංහාරයන්ගෙන් පසුව එම රටවල් දීර්ඝ කාලයක ස්ථාවර පාලනයක් පිහිටුවා ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් බව ය.

මේ නිසා රනිල් වික්‍රමසිංහට ‘මාධ්‍යවේදී රංග’ බලකරන්නේ වර්ජකයන් වලපල්ලට යවා හෝ ඔහුගේ කෘර මර්දනකාරී පාලනයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ සහ වත්මන් රනිල්-රාජපක්ෂ පාලනයත් අනුමත කරමින් ක්‍රියාවට නගා ඇති කප්පාදු ක්‍රියාවලියත් ආරක්ෂා කරගන්නා ලෙස ය.

මේ ආකාරයට ශිෂ්‍ය ව්‍යාපාරයට හා වැඩකරන ජනතාවගේ සාධාරණ අරගලවලට අවලාද නගමින් ඒ ක්‍රියාමාර්ග කෘර ලෙස පොඩිපට්ටම් කරන ලෙස කේවට්ට උපදෙස් දෙන්නට මේ අයට හැකි නම්, අප කියන්නේ ඔවුන් පත්තරකාරයන් නොව, මිනීමරුවන්ට පාන අල්ලන’වුන් බව ය. මේ වන විට ආර්ථික අර්බුදය නිසා ඇති වන ගැටළුවලට මුහුණ දෙන්නට නොහැකිව මිය ගොස් සිටින වැඩිහිටියන් පමණක් නොව, හය හතර නොතේරෙන දරුවන් විරෝධතාවලදී මියගිය’වුන් සියල්ලන්ගේ ම ඝාතකයා, වත්මන් ආර්ථික සමාජ දේශපාලන අර්බුදයට පාර කැපූ පාලකයන් හා ඔවුන් හා කල්ලි ගැසී සිටින ව්‍යාපාරික පැලැන්තියයි.

රනිල්-රාජපක්ෂ ඇතුළු පාලක කල්ලිය මෙන්ම මේ රටේ ධනකුවේර පැලැන්තිය සිදුව ඇති මරණවලට පමණක් නොව, ඉදිරියේදීත් මියයන රෝගීන්, බිළිඳුන් සම්බන්ධ වගකීම බාරගත යුතු ව ඇත. එම පැලැන්තියේ DailyMirror පුවත්පතේ හිමිකාර විජේවර්ධනලා ද සිටී. විජේවර්ධනලාගේ පත්තර අධිරාජ්‍යයේ ‘කටු කන පත්තරකාරයන්’ සිටින බව ඇත්තකි. ඔවුන් මතක තබාගත යුත්තේ තමන් යැපෙන්නේද අයුක්ති සහගත සමාජ ක්‍රමයක නිස්කාරණේ මිය යන හා මරාදමන මිනිසුන්ගේ ලේ මස් මත බව ය. ඉදිරියේ රනිල්-රාජපක්ෂ පාලක කල්ලිය විරුද්ධ මතධාරීන් මර්දනය කරන විට ඊට මේ ගිජුලිහිණි මාධ්‍ය අනුබල දුන් බව ජනතාව මතක තබාගනු ඇත. වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍යයන් මරාදමන ලෙස වක්‍ර ව ලියන්නට මේ ඝාතක පෑන්වලට හැකි නම්, ඒ පෑන්වල ඒ පත්තර පිටුවල ලේ තැවරී ඇති බව කිව හැකිය.

  • චන්දන සිරිමල්වත්ත

(ක්ෂිතිජය සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත්, ලංකා සහ ජනරළ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙසත් කටයුතු කර ඇති ලියුම්කරු, මාධ්‍ය මර්දනයට සහ ජනමාධ්‍යයට එල්ල වන බලපෑම්වලට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සෘජු ව පෙනීසිටින්නෙකි.)

Related articles

වසර 38 ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලූ 21 හැවිරිදි Mykolas Alekna

ලිතුවේනියාවේ Mykolas Alekna විසින් කවපෙත්ත විසි කිරීමේ වසර 38 ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලීමට පසුගියදා සමත් වුණා.ඒ...

මීතොටමුල්ල : 2017 – 2024 මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා...

අපි බංකොලොත් කියලා අමුතුවෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ : බංකොලොත් රටක අවුරුදු 2ක කතාවක් !

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ 2022 අප්‍රේල් 12 වැනිදා ය. එනම් මීට...

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය

ඊයේ(12) සවස සහ අද උදේ කාලය වෙනකොට රොහාන්ගේ සමුගැනීම වෙනුවෙන් ලියවෙන සටහන් සහ චායාරූප සමුහය දැක්කම පේනවා ඔහු...