හිම සහ පටිච්ච සමුප්පාදය —

Share post:

අධිකය
දරුණු හිම පතනය
වැසී ඇත ලිප්ටන් වටරවුම
සුදෝ සුදුවන් හිමෙන්.

මේ

ඉතා භයානක
ශීත ඍතුවක් ම ය.

උහුලනු බැරිව සීතල
ගල් ගැසී මිය ගොසිනි
තලතුනා පරෙයියන්
මුකවාඩමත් එක්ක ම
ඇස්බැස්ටෝස් පියසි යට.

හිම පතනයෙන් වැසී
අන්ධය ඇස් වාට්ටුව.

පෙරළි පෙරළී
හිම ක්‍රීඩා කරති
හිමවලස්සු
හයිඩ් පිටියෙහි.

පෙරළී තිබේ
ඉබ්බන්වල හංදියෙහි
හිම කන්දක් පාමුල ම
නත්තල් සීයාගේ කරත්තය
උඩුකුරු
ලැම්බෝගිනි රථයක් අද්දර.

පාවෙයි
යෝධ ග්ලැසියර
බේරේ වැවේ බොර දිය පිට.

ලැග සිටිති
සීල් මත්ස්‍යයෝ
කොම්පඤ්ඤ වීදියෙහි
කඩපිල් මත.

ළපලු පත් හැලී ගිය
වෙව්ලනා නිර්වස්ත්‍ර අතු රිකිලි හිරිවැටුණ
වයස්ගත කේඬෑරි වෘක්ෂයෝ ඔත්පල ය
හිම මිදුණ
විහාර මහාදේවී උද්‍යානයෙහි.

හිමෙන් යට වී ඇත
නගර සබා මන්දිරයෙහි
අලංකාර වැසිකිලි පෝච්චි

ලිස්ස ලිස්සා
හිම උඩ ම පලායති
පිනිමුවෝ
ඩීන්ස් පාරෙහි

පෙනෙයි
වහල විතරක්
හිමෙහි ම ගිලුණ
චූන් පාන් රථයක

ආවේ ය
වෙව්ල වෙව්ලා
හුදෙකලා මිනිසෙක්
හිම පොරවක් රැගෙන

බින්දේ ය
ඝන හිම තට්ටු
පහර දී වේගයෙන් හිම පොරවෙන්
පාදා ගත්තේ ය ඔහු
ලිප්ටන් වටරවුම

දුටුවේ ය
ඔහු එවිට
හිම යට ම ගිනියම්ව
රත්වෙවී කැකෑරෙන
දයලෙක්තික භෞතිකවාදය
සහ
පටිච්ච සමුප්පාදය

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...