‘අරගලයක සැඟවුනු කතා’ – තිස්ස කොරතොට

Share post:

කවර ඉතිහාසයක් වුව අරගල වලින් නොතොරය. අරගල, කුමන්ත්‍රණ, ජයග්‍රහණ, පරාජයන්, පාවාදීම් ආදී විවිධ හැල හැප්පිලි මැද සමාජය ගාට ගාටා වුව ඉදිරියට ඇදෙයි. ලංකා ඉතිහාසයෙහි මෑත භාගයේ සමස්ත රටම කම්පනය කළ අරගල දෙකක් තිබෙන අතර අවාසනාවට ඒ අරගල දෙකම පාලකයන්ට එරෙහිව අරගල කරන අතරේ එකිනෙක බද්ධ වීමේ විභවයන්ද නසාලමින් ගමන් කර අවසන දෙකෙහිම ඇද වැටීම සනිටුහන් කළේය. එසේම උතුරේ අරගලය මෙන්ම දකුණේ අරගලය යන මේ දෙකම ලෝක දේශපාලනයේ ගරිල්ලා සටන් යන භාවිතාව පිලිබඳ තීරණාත්මක සංධිස්ථානයක් ලකුණු කරමින් පොදු ජන අරගලය යන්නට වැඩි ඉඩක් වෙන් කරන මාවතක් වෙත යොමුවීමේ අවශ්‍යතාව දෙපාර්ශවයටම පෙන්වා දුන්නේය.

ප්‍රකට මාධ්‍යවේදියෙකු වන තිස්ස කොරතොට මේ අරගල දෙකින් දකුණේ අරගලයට නායකත්වය දුන් රෝහණ විජේවීර පිලිබඳව තමන් විසින් පුවත් පතට ලියූ ලිපි එකතුවක් අරගලයක සැඟවුනු කතා මැයෙන් එලි දක්වා තිබේ. රෝහණ විජේවීරගේ ජීවිතයේ විවිධ අවධිවලදී ඔහු සමග දේශපාලන සගයන් ලෙස කටයුතු කළ විවිධ මැදිහත්වීම් හී පංගුකාරයන් වූ අයගේ අත්දැකීම් ඇසුරින් ඔහු මෙහිදී රෝහණ විජේවීර චරිතය ගැන කියවීමකට අවස්ථාව සලසයි. එය බෙහෙවින් හෘදයාංගම සහ සහෝදරාත්මක ආලෝචනාවන් සමූහයක එකතුවකි.

රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ දෙවන අරගලයේ නායකයන් අතරින් අතිශය බහුතරය දිවි ගමන නිමා කළ ආකාරය යනු අප ඉතිහාසයේ නොමැකෙන කලු පැල්ලමකි. මේ කිසිවකුගේ මරණ පිලිබඳව ආණ්ඩු පාර්ශවයෙන් දෙන ලද අර්ථකතනයන් සහ නිවේදනයන්ද, ඒ මත පිහිටා පල කෙරුණු ලිපිද එක් පසෙකය. ඒ අතර විවිධ අසම්පූර්ණ ගවේෂණ සහ උපකල්පන මෙන්ම විවිධ තොරතුරු මතද පදනම්ව ඉදිරිපත් වෙන විස්තර තවත් පසෙකය. නමුදු තවමත් මේ මරණයන් නැතිනම් ඝාතනයන් යනු තිමිරයකින් වැසුණු කලාපයකි. ඒ තිමිර පටලය කවදා පහව යාදැයි කිව නොහැකි තරමටම සමාජයද තවමත් නිදිබර ය.

ජවිපෙ දෙවන අරගලය යනු පක්ෂය තහනම් කරන ලද පසුව රහසිගත දේශපාලන භාවිතාවකට සහ ගරිල්ලා අරගලයකට යොමුවුන ගමනකි. එහෙයින්ම එහි බොහෝ තොරතුරු අදටත් ඇත්තේ වැසුණු ගමන්මය. එකල සිදුවූ සන්නද්ධ ක්‍රියාකාරකම් මෙන්ම සිර ගෙවල්, කඳවුරු බිඳ පලා යෑම්, උමං සාරා පලා යෑම් වැනි උද්වේගය මෙන්ම ත්‍රාසය දනවන සිද්ධි බහුල මේ අවදිය ගැන ලංකාවේ තවමත් ප්‍රමාණවත් අයුරින් නිර්මාණ බිහිවද නැත. මේ සියල්ල අතරේ විජේවීර යන චරිතය එක් පසෙකින් උපරිම වන්දනයට ලක් වෙද්දී අනෙක් පසින් උපරිම ගැරහුමටද ලක් වෙයි. සිය ආස්ථානයන්හී පිහිටා කෙරෙන මේ වන්දනයන් මෙනම ගැරහුම්ද අතරින් විජේවීර චරිතය මතු කර ගැනීම අත්‍යවශ්‍යම කරුණකි. එය ලංකාවේ තීරණාත්මක අරගලයක පරාජයේ පාඩම් වටහා ගැනීමට මෙන්ම තම පුද්ගලික අභිවෘද්ධිය පසෙක ලා පොදු අරමුණක් වෙනුවෙන් කැපවීම පිලිබඳ චරිතාචදර්ශයකටද විජේවීර චරිතය යළි කියවීම අවශ්‍ය වන හෙයිනි.

චරිතයක් කියවීමේදී ඒ චරිතයෙහි ඇසුර ලද පුද්ගලයන්ගේ අත්දැකීම් ඉතා වැදගත් වෙයි. විශේෂයෙන්ම බිහිසුණු මර්ධනයක් මැද එවන් චරිතයක් හා ඇසුරු කරන්නවුන්ට අන් බොහෝ දෙනකුට නොලැබෙන අවස්ථාවන් හිමි වෙයි. තිස්ස කොරතොට මෙහිදී සිය ලිපි පෙලට පාදක කරගන්නේ එසේ විජේවීර සමීපව ඇසුරු කරන්නට විවිධාකාරයේ අවස්ථා ලද පිරිසකගේ අත්දැකීම්ය.

ඉදින් තිස්ස කොරතොට රෝහණ විජේවීර චරිතය ඔහුගේ සමකාලීන සගයන් සමගින් ගෙන අදාල චරිත ගැන මෙන්ම එකී කාලය ගැනද වර්තමාන පාඨකයන්ට කියවන්නට අවස්ථාව සලසයි. ඔහුගේ ලිපි කෙසේවත් න්‍යායාත්මක විග්‍රහයන් නොවේ. අත්දැකීම් මත පිහිටා කරන ලබනා විවරණයන් ය. එහෙත් මෙවන් ලිපි මගින් අප ඉතිහාසයේ අඳුරු කලාපයකට එල්ල කළ හැකි ආලෝක දහරාවන් විශාලය. එසේම එවන් ලිපි මගින් ඇති කළ හැකි උත්තේජනයද විශාලය.

චුලානන්ද සමරනායක

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...