කලාපීය භූ දේශපාලනය සහ නෙදුමාරන් ප්‍රභාකරන්ට පණදීම !

Share post:

ගෝලීය දෙමළ සංසදයේ නායක පී. නෙදුමාරන් 2023 පෙබරවාරි 13 දා දකුණු ඉන්දියාවේ තන්ජෝර්හිදී මාධ්‍ය හමුවක් පවත්වමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුදා ගැනීම සඳහා ඔහු නියමිත වේලාවේදී ඉදිරියට එන බවත් ප්‍රකාශ කළේය. දෙමළ ඊලම කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ප්‍රභාකරන්ට සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු දමිළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේය.

හිටිහැටියේ අහසින් කඩා පාත් වූ ප්‍රභාකරන් පිළිබඳ නෙදුමාරන්ගේ කතාව අන්තවාදී දෙමළ නායකයෙකුගේ ප්‍රලාපයක් ලෙස එකවරම ඉවත දැමිය නොහැකිය. නෙදුමාරන් ලවා හදිසියේ මෙවැනි කතාවක් එළියට දැමූ දේශපාලන ප්‍රවණතාවය කුමක්ද යන්න හඳුනා ගත යුතුය. එය තෝරා බේරා ගැනීම අසීරුවෙන් කළ යුතු සංකීර්ණ කාර්යයකි.

හොරාට පෙර වැට පැන්න කෙහෙල් කැන ?

නෙදුමාරන්ගේ මාධ්‍ය හමුව පවත්වා දින දෙකකට පසු මෙරට මෙරට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර 2009 මැයි 9 වන දා නන්දිකඩාල් කලපුවේ තිබී හමුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ ඩී එන් ඒ පරීක්ෂණයෙන් ප්‍රභාකරන් මියගිය බව ශ්‍රී ලංකාව නිශ්චිතව හඳුනා ගත් බවත්ය. නෙදුමාරන්ගේ ප්‍රකාශය විහිළු සැපයීමක් බවත් හෙතෙම කියා තිබිණි.

හොරාට පෙර කෙහෙල් කැන වැට පැන්නා සේ කමල් ගුණරත්න මෙම ප්‍රකාශය කර තිබිණ. ලංකා ආණ්ඩුව නෙදුමාරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් කීවේ නැත. ප්‍රොටකෝලය අනුව නිල ප්‍රකාශයක් කිරීමේ වගකීම ආණ්ඩුවට තිබේ.

නෙදුමාරන් ?

2009 මැයි 24 වනදා එල්ටීටීඊ සංවිධානය විසින් ද ප්‍රභාකරන්ගේ මරණය නිල වශයෙන් තහවුරු කළේය. කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් බීබීසී යට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවේ තම අසමසම නායකයා දිවිපිදූ බවය.

අපට වැටහෙන අන්දමට නෙදුමාරන්ගේ ප්‍රකාශයේ විහිළුවකට වැඩි ගැඹුරක් තිබේ. The Endian Express පුවත්පත ප්‍රකාශ කළේ 2018 වර්ෂයේදීද ප්‍රභාකරන් ජීවත්ව සිටින බව නෙදුමාරන් ප්‍රකාශ කළ බවය. නෙදුමාරන් වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග හොඳ සම්බන්ධතාවයක් පැවැත්වූ බව සත්‍යයකි. යුද්ධය පැවති අවධියේ ඔහු ප්‍රභාකරන් හමුවීම සඳහා අවස්ථා කීපයකදීම වන්නි ප්‍රදේශයට පැමිණි බවද වාර්තා විය. 1992 දී ඔහු එල්ටීටීඊයට පක්ෂව කතා කිරීම නිසා ඉන්දියාවේ දී ඔහු අත්අඩංගුවට පත්විය. 1992 දී ඔහුට චෝදනා පත්‍රයක් නිකුත් කළ ද නඩුව විභාගයට ගත්තේ නැත. 2002 දී නෙදුමාරන් ප්‍රභාකරන්ට පක්ෂව තවත් කතාව පැවැත්වූ අතර ඉන්දීය රජය ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කළේය. ඒ අවස්ථාවේ නෙදුමාරන් මාස 15 වක් සිරභාරයේ පසුවිය. අධිකරණය විසින් ඔහු නිදහස් කරන ලදී.

නිහඬ ඉන්දියාව

එල්ටීටීඊය ඉන්දියාවේ තහනම් සංවිධානයකි. 2019 නොවැම්බර් 7 වනදා එල්ටීටීඊ සංවිධානයේ තහනම වසර 5 කට දීර්ඝ කරන ලද්දේ දිල්ලි මහධිකරණ විනිසුරු සංගිතා සේගාල්ගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්ච සභාවක විමර්ශනයකින් පසුවය. දැන් නැවතත් නෙදුමාරන් විසින් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රකාශයක් සිදු කර තිබේ. එහෙත් විමතියට කරුණ වන්නේ ඉන්දීය මධ්‍යම රජය මේ වන තුරු ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය.

අතිශය සරල ප්‍රශ්නයකදී වුවද මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන ඉන්දියාවේ ප්‍රවෘත්ති ඇමැති අනුරාග් ඨාකූර්, නෙදුමාරන්ගේ ප්‍රකාශය ගැන කතා කළේ නැත. ඉන්දියාවේ මධ්‍යම රජය නෙදුමාරන්ගේ ගෝලීය දෙමළ සංසදයේ කටයුතු සඳහා කෝටි 5ක මුදක මුදලක් ලබා දුන් බවට ද නිල නොවන ආරංචි තිබේ.

එයින් ගම්‍ය වන ප්‍රධාන කරුණ වන්නේ නෙදුමාරන්ගේ මාධ්‍ය හමුව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනික උවමනාව මත සිදුකරන ලද්දක් බවය. එසේ නම් ඒ වුවමනාව කුමක් විය හැකිද. ප්‍රශ්නය තිබෙන්නේ එතැනය.

ලංකාව හිරවෙන තැන

ගෝලීය දේශපාලනය තුළ ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව සිටින්නේ ආසියා – පැසිෆික් සන්ධානය තුළය. එම කඳවුර චීනයට එරෙහි බරපතළ ගැටුමක නිරතව සිටී.

“එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන ඔස්සේ ආසියානු කලාපයේ බලය තහවුරු කරගැනීම සඳහා චීනය ගෙනයන වැඩපිළිවෙළ පැසිපික් සන්ධානයේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

ණය, ආධාර සහ ආයෝජන තුළින් චීනය ලංකාව තුළ තහවුරු වී සිටීම ඉන්දියාව කොහෙත්ම රුස්සන්නේ නැත. චීනය ශ්‍රී ලංකාවෙන් තල්ලු කර දැමීම සඳහා ඉන්දියාව මේ අවස්ථාවේ උපාය මාර්ගික වැඩසටහනක් දියත් කර තිබේ. ඒ අනුව ලංකා ආණ්ඩුව චීනය සමග බෙදා හදා ගන්නට සිටි ව්‍යාපෘති ගණනාවක් කෙටි කාලයක් තුළ ඉන්දියාව විසින් අත්පත් කර ගන්නා ලදී. කොළඹ වරායේ බටහිර ජැටිය, හා උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අදානි සමාගමට පැවරීම ප්‍රශ්නයේ එක පැත්තකි.

තවත් පැත්තකින් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ඉන්දියාව ඉතා කෙටි කලක් තුළ ඩොලර් බිලියන 4.7 ක් ලංකාවට පරිත්‍යාග කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටි අනුමැතිය මෙතෙක් ලබාදී තිබෙන්නේ ඉන්දියාව පමණි. චීනය තවමත් එම වාර්තාව ලබා නොදී එකෙල මෙකල වෙමින් සිටී. ණය කපා හැරීමට තමන් කිසිසේත් එකඟ නොවන නොවන බව ප්‍රකාශ කළ චීනය දෙවසරක සහන කාලයක් ලබා දීමට පොරොන්දු වී තිබේ.

13 ?

පැරිස් ක්ලබ් කණ්ඩායම ද මෙතෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පූර්ණ එකගතාවයක් ලබා දී නැත.

මේ වාතාවරණය මැද අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට නියෝග කරන්නේ ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 13 න් වන ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාවට නංවන ලෙසය. රනිල් වික්‍රමසිංහ එයට එක පයින් කැමැත්ත පළ කර තිබේ. උපරිම බලය බෙදීමක් සඳහා තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාස කිහිපය තුළ ලංකාවට පැමිණි ඉන්දීය රාජතාන්ත්‍රික දූතයින්ට නැවත නැවතත් පොරොන්දුවී තිබේ. උපරිම බලය බෙදීමක් සිදු කරන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය කෙරෙහි ශ්‍රී ලංකාවේ දමිල ප්‍රජාව ද, දෙමළ ඩයස්පෝරාව ද දකුණු ඉන්දියාවේ දෙමළ ජනයාද දැඩි උනන්දුවකින් බලා සිටී.

මෙවැනි දේශපාලන වාතාවරණයක පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව වීදිබට භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්නයේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුළුස්සා දැමීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එල්ල කළ තදබල පහරක් ලෙස ඉන්දියාව සලකයි. භික්ෂූන් වහන්සේලා පාරට ගෙන ඒම පිටුපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටිනවාද යන්න ගැන ඉන්දියාව පසුවන්නේ සැකයෙනි. එදින පෙළපාලිකරුවන් ගේ හැසිරීම පොලිසියේ කිසියම් සහයෝගයක් මත සිදු වූ බවට නිරීක්ෂණය වී තිබේ. ආණ්ඩුව හා සෘජු සම්බන්ධතා ඇති මැදගොඩ අභයතිස්ස, ඉඳුරාගාරේ ධම්මරතන, ආදී භික්ෂූන් වහන්සේලා යටකී උද්ඝෝෂණයට සම්බන්ධ වීමත්, මඩකලපුව වැනි ඈත දුෂ්කර ප්‍රදේශයක සිට ඇතැම් භික්ෂූන් කොළඹට ගෙන ඒමට රජයේ සහාය ලැබුණු බවට ලැබී ඇති වාර්තාත්, ඉන්දීය රජයේ කනස්සල්ලට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී භික්ෂූන් වහන්සේලා පෙරටු කරගත් දේශපාලන පක්ෂ ස්වකීය දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා ජාතිවාදී උසිගැන්වීම් කරන බව රහසක් නොවේ. නමුත් ඔවුන් බලයේ සිටි කිසිදු අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් 13 ඉවත් කිරීමට කටයුතු කළේ නැත. මහින්ද රාජපක්ෂලා, විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනයට දක්වන විරෝධය ව්‍යාජ එකකි. ඔවුන් බලයේ සිටිය හැමවිටම 13 ආරක්ෂා කළේය. බලය කොල්ලකෑම සඳහා ඉණිමගක් ලෙස 13 සහ බලය බෙදීම පාවිච්චි කළ හැකි බව ඔවුහු දනිති . නමුත් මෙවර ජාතිවාදීන්ට ඔවුන් අපේක්ෂා කළ ජාතිවාදී රැල්ල මතු කර ගැනීමට නොහැකිවී තිබේ.

මෝදිගේ ඉලක්කය

වර්තමාන ගෝලීය දේශපාලන තත්ත්වය තුළ 1987 දී ඉන්දීය කොංග්‍රසයේ නායක රාජිව් ගාන්ධි – ජේ ආර් ජයවර්ධන විසින් අත්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුම නරේන්ද්‍ර මෝදි සලකන්නේ ඉන්දියාව මැදිහත්වූ ගිවිසුමක් ලෙස මිස කොංග්‍රස් පක්ෂය මැදිහත් වූ ගිවිසුමක් ලෙස නොවේ. 13 ක්‍රියාත්මක කර ගතහොත් 2024 ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ ලෝක් සභා ආසන 40 න් 10 ක් භාරතීය ජනතා පක්ෂයට දිනා ගත හැකි වේ යැයි නරේන්ද්‍ර මෝදි විශ්වාසයෙන් පසු වේ. ඒ නිසා ලංකාවේ ගෙල තව තවත් සිර කරනවා මිස ලිහිල් කිරීමට ඉන්දියාව කටයුතු කරතියි මේ අවස්ථාවේ අපේක්ෂා කළ නොහැක. නෙදුමාරන් ලවා වේලුපිල්ලේ ප්‍රභාකරන් මතක් කිරීමෙන් ඉන්දියාව ගෝලීය දමිල ප්‍රජාවට අධි ශක්ති එන්නතක් ලබාදී තිබේ.

කළ යුතු දේ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් තමා කරන්නේ ව්‍යවස්ථානුකූලව ක්‍රියා කිරීමක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. එක්තරා දුරකට ඔහු කියන්නේ සත්‍යයකි. 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකය. ප්‍රශ්නය කිසිම රජයක් එය ක්‍රියාත්මක නොකිරීමයි. රනිල් කියන්නේ තමා එයට අත ගසන බවය. තමා ප්‍රබල භික්ෂූන්ගේ දැඩි විරෝධය මත ඊට අත ගසා ඇති බව ඉන්දියාවට ප්‍රදර්ශනය කිරීම සඳහා රනිල් ජාතිවාදී භික්ෂුන්ගේ නාටකය කරළියට ගෙනාවා වෙන්නට පුළුවන. ඉන්දියාව එයට පිළිතුරු දී තිබෙන්නේ ප්‍රභාකරන්ට පණ දීමෙනි.

උපරිම බලය බෙදීමකට යාම සදහා කැබිනට් මණ්ඩලය තුළ යම් බාධා පවතී. ඉන්දියාවේ අභිලාෂයන්ට අනුව එම බාධා ඉවත් කරන පුටු මාරුවක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එහිදී

13 ප්ලස් දෙන්නට තමා සූදානම් යයි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ නැවත කරලියට නැංවීමට බොහෝ දුරට ඉඩ තිබේ. රූකඩ මෙහේ තිබුණාට නූල කෙළවර තිබෙන්නේ නවදිල්ලියේය. ජනතාව නුවණින් සරණවා නම් දඩයක්කාරයින් සියල්ලෝම එක මිටට තබා පැරද විය හැකිය.

  • මාධ්‍යවේදී උදේනි සමන් කුමාර සිය ෆේස්බුක් පිටුවේ පළකරන ලද ලිපියකි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...