ලක්ෂිකා රත්නායකගේ ‘සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත’

Share post:

ගැහැණියකගෙ ලස්සන හිනාවක කොයිතරම් කඳුළු තැවරිලා තියෙනවද කියලා ඒ හිනාව දකින අය දන්නෙ නෑ.

ඒ කඳුළු දුන් මතකයන්ගෙන් කවි උපදින්නට නම් තිබූ බැඳීමෙන් උපන් පීඩාවෙන් නැගෙන වෛරී හැඟුමන් සිඳීගිය හිස්බවක නවතාලන්නට ඕනි. ඒ කියන්නෙ හදවත කැතාසිස්මික වෙන්න ඕනි. ආයෙ කවදාවත්ම ඕනිත් නැති ඒත් අතහරිනකොට ලෝබත් හිතෙන, විරහව ජීවිතයට හුරු කරගෙන කැතාසිස්මික වූ හදවතින් ලියූ කවි කියවාගන්නට ඕනි වෙන්නෙ එතැනින්.

ඇයට අපූරු කවි අනුභූතින් තියෙනවා. ඒවා ඔබේත් මගේත් ජීවිත වල ඇමිණිලා පැටලිලා සීරුණානම් මේ කවිවලට ඔබටත් අයිතියක් තියෙනවා.

කිවිඳියට තියෙනවා කාටත් බය නොවී කියන්න තියෙන දේ දඩාස් ගාලා කීමේ ගුණයක්. ඒකයි පිදුමෙ අවසන

හයිමනය කැඩී තිබියදිත්
මා ගැහැණියක් කළ ඔහුට !!!

කියලා පිදුම තියන්නෙ. කසාද බැඳලා යුගදිවියක් ගෙනියන පමණින් සෑම කාන්තාවක්ම ගැහැණියකවීමේ තෘප්තකරබව නොදන්නා වග ඇය මතක්කරනවා.

පපුව උඩ ඔබ තබා ගිය දුක
ඇවිදිනවා බර අඩි තියාගෙන
ඇඬුවානං කෑගහලා මං අද
තුරන් වේ යැයි බයයි ඒ දුක

අඬන්නත් මට ඕන නෑ අද
තියා ගන්නවා මං ළඟින් දුක
රණ්ඩුවක්වත් වෙන්න මට හෙට
හීනෙකින්වත් ඇවිත් යනවද ?????

(08 පිටුව)

වේදනාත්මක සමුගැනීමකින් පසුවවත් ඒ වේදනාව අතහැර ගන්න බැරි තැනක නවතින ආදරණීය හිත කැතාසිස්මිකයි.

පොද වැස්ස
තනිකම
කැරමල් සුවඳ
ඔබ
නැතිවත්
මං
විඳිනවා
මං
කැමති දේ
හිත පුරාවට

ඇයගේ මේ වචන මැවුම්කාරයි. පොද වැස්සෙ තනියම කැරමල් සුවඳ එක්ක ඉන්න දසුනක් මවමින් ඇය කියන්නෙ අතීතයේ කැමැත්තෙන් විඳි රසය ඇය තනිව විඳිනා බවයි. වෙන කෙනෙකු ආ වගක් නොවෙයි. එය කැතාසිස්මිකයි.

හීනියට දුම්දාන
කැරමල් සුවඳ එක්ක
කිරි පොඩ්ඩක් මුහු වුනාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

හීනියට දුම් නගින
මාරි බිස්කට් සුවඳ එක්ක
සිගරට් දුමක් දැණුනාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

හීනියට පෙණ නගින
මහ ජරා ගඳක් එක්ක
වැට් 69 වීදුරුවක් දැකකාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

හීනියට තඩිස්සි වෙච්ච
පුංචි ලේ රහක් එක්ක
තොල්පට පැලුනාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

(15 පිටුව)

මේ ලිවීමෙන් මැවෙන අවසාන රූපය පීඩිතයි. එය කියන්කට ඇය එඩිතරයි. ඒත් ඒ මතකයත් එක්ක ජීවත් වෙන්නට කැතාසිස්මිකයි.

ඔව් මං
යශෝධරා
ඔබ දුන් දුක් දරාගත්
ඔව් මං
කුවේණිය
ඔබේ පිටුපෑම දරාගත්
ඔව් මං
ප්‍රජාපතී
ඔබට දෙවැනි බිරින්දෑ වූ
ඔව් මං
උන්මාද චිත්‍රා
එක්ටැම්ගෙයි සම්මතය බිඳලූ
….
ඔව් මං
ඒ ගැහැණිය
ඔබව
ඉතිහාසයෙන්
මකා දමනා
(18 පිටුව)

ඇය ඇගේ ඉතිහාසයෙන් මකන්නට උත්සහා ගන්නේ ඇගේ මතකයි. ඔව් එය කැතාසිස්මිකයි.
මගේ හිත ළඟ
නතර වූ ඔබ
ඇගේ හිත ළඟ
කුමක් සොයන්නද???
මං දුන්න එක දෙයක් හමු වුනොත්
පණිවිඩයක් එවනවද ???

තාමත් අතැරගන්න බැරි වුන මේ ඉරිසියාව කැතාසිස්මිකයි.
චටාස් ගා කම්මුලට
දඩාස් ගා ඔළු ගෙඩියට
හුටස් ගා නලළතට
දඩොන් ගා කොන්දටද
ඉඟුරු රහ ප්ලේන්ටියක
උණු උණු වඩයක
මිස් වෙච්ච කෝච්චියක
කාක් බෙටි බංකුවක
(28 පිටුව)

මතක මතක් වෙන විදිහ ඇය ලියන්නෙ එහෙමයි. වචන දෙක තුනකින් සිනමා රූප මවනවා. මතක එක්ක ජීවත්වෙන හිත කැතාසිස්මිකයි.

හෙණයක්
සාපයක්
වදයක්
ඔබ මට
සුන්දර!!!
(34 පිටුව)

හෙණයකට සාපයකට වදයකට කරන්න පුළුවන් විනාශය කොයි තරම්ද ? අවසානයේ සුන්දර!!! කියලා ඒකට එකතු කලාම ඒක කැතාසිස්මික වෙනවා.

එන්න කියලාවත් කියන්න
බැරි කෙනෙක් එක්ක මම
කොහි ගිහින් නවතීද
දුක කීවා හඳට මම!!!
(42 පිටුව)

ඒ හිත හදාගැනීම කැතාසිස්මිකයි.

නම
පෑනකින්
කොහේවත්
කුරුටු ගා
හැඩ බැලිය
නොහැකි හින්දම
පැන්සලකින් ලියා
හැඩද වැඩද බලා
මකනයකින් මකා
පිහලාම දැම්මා
(44 පිටුව)

කාටවත් කියන්නවතු බැරි කෙනෙකුට ආදරය කරන්න හදාගත්ත හිත කැතාසිස්මිකයි.

ඔව්
මිසිස් වෙලාත්
මිස් වෙච්ච
ෆැන්ටසිය
මම
(50 පිටුව)

එයාට මිස් වෙච්ච ෆැනටසිය මම කියලා මතක් කරලා හිත හදාගන්න හදන හිත කැතාසිස්මිකයි.

කැට්ට කට්ට
ඔබ මට
නුහුරට
වැදිච්ච
ඇරිච්ච
හැට්ටයේ
පිටුපසට වී
ගොබය
රිද්දවන
(52 පිටුව)

විළිවසා ගන්න නොදී රිද්දමින් තවමත් ඇණෙන කට්ට තවම නොගලවන හිත කැතාසිස්මිකයි.
මට ඕනෙ මම වෙන්න
නුඹ නොදන්න මම වෙලත්
නුඹටම ආදරේ කරන්න !!!
(60 පිටුව)

ආදරයෙන් රිදිලත් ආයෙත් ආදරය කරන්න හිතෙන හිත කැතාසිස්මිකයි.
KBOOKS ප්‍රකාශනයක්.

නදීකා සෙනෙවිරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...