අලුත් වුණු ඉන්දියාව සහ ජය පිපාසිත ශ්‍රී ලංකාව අද පිටියට

Share post:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු විස්සයි 20 තරගය අද රාත්‍රී 7ට මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කිසිඳු විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් වත් ක්‍රීඩා කර නොමැති පසුබිමක මෙම තරගයට මුහුණ දීමට නියමිතව ඇති අතර ඉන්දීය පිලේ පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනකු විවේක ගන්වා තිබීමද එක් පැත්තකින් ශ්‍රී ලංකාවට වාසි සහගත වනු ඇතැයි සිතිය හැක.

ඉන්දීය කණ්ඩයමේ විස්සයි 20 නිත්‍ය නායක රෝහිත් ශර්මා පසුගිය මාසයේ බංග්ලාදේශයේ පැවති එක්දින තරගාවලියේදී ආබාධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකාව සමග වන තරගාවලියට නායකත්වය සපයනු ලබයි.

පසුගිය වසරේදී ශතක දෙකක් සමඟ තරග 31 කදී ලකුණු 1164 ක් රැස්කරමින් විස්සයි 20 ආකෘතියේ ඉහළම ලකුණු ලාභියා වුණ සූර්යකුමාර් යාදව් උප නායකයා ලෙස පත් කර ඇත.

එමෙන්ම විරාත් කෝලි හා කේ. එල්. රාහුල් විවේක ගන්වා රවීන්ද්‍ර ජඩේජා, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීත් බුම්රාද මෙවර සංචිතයට එක්කර නොමැත.

මේ අතර ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඉෂාන් ක්‍රිෂ්ණන් සහ තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නැති තුන් ඉරියව් ක්‍රීඩක රාහුල් ත්‍රිපාතී හා කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් මෙවර සංචිතයට එක් කර තිබීමට විශේෂත්වයකි.

හර්දික් පාණ්ඩ්‍යා මංගල තරග වාරයේදීම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට IPL ශූරතාව දිනා දීමට මුල්වූ නායකයා වන අතර මෙම යොවුන් කණ්ඩායම එතරම් සැහැල්ලුවට නොගත යුතු යැයි ක්‍රිකට් විචාරකයින් පවසා තිබුණද ඉන්දීය මාධ්‍ය තරගාවලියට පෙරම පවසා තිබුණේ ඉන්දීය කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු ලෙසම දසුන් ශානක නායක්වය සපයනු ලබන අතර පසුගියදා නිමාවට පත් වූ LPL තරගාවලියේ වීරයා වූ සධීර සමරවික්‍රම සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම අවසන් තරගයේ වීරයා බවට පත් වූ අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර දණහිසේ ආබාධකට ලක්වීම හේතුවෙන් මාස 10 ක පමණ කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටි අවිෂ්ක යළිත් පිටියට පිවිසෙන්නේ LPL තරගාවලියේදීය. ‍

කෙසේවෙතත් කසුන් රාජිත, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ වැනි LPL තරගාවලියේ කැපී පෙනුනු ක්‍රීඩකයින් ඉන්දියාවට එරෙහි සංචිතයට එක් කර තිබීමද විශේෂත්වයකි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි 20 තරගයකදී හමු වූයේ සැප්තැම්බර් 6දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වන අතර එහිදී ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක් අත්කර ගත්තේය.

මේවනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරග 26ක් පවත්වා ඇති අතර එයින් 17ක් ඉන්දියාව ජයගෙන ඇති අතර, තරග 8ක ජය ශ්‍රී ලංකාව අත් කර ගෙන තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

මේ වනවිට ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ ඉන්දියාව රැඳි සිටින අතර එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වැනි ස්ථානයයි.

එහෙත් ක්‍රිකට් විචාරකයන් පවසන්නේ මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම් දෙකටම සම අවස්ථා ඇති බවයි.

ඉන්දීය විස්සයි 20 සංචිතය: හර්දික් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදව් (උප නායක), රුතුරාජ් ගයික්වාඩ්, රාහුල් ත්‍රිපාතී, සුබ්මාන් ගිල්, දීපාක් හූදා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්,වොෂින්ටන් සුන්දර්, යුෂ්වේනද්‍ර චාහල්, අක්ෂා පටෙල්, අර්ෂදීප් සිං, හර්ෂල් පටෙල්, උම්රාන් මලික්, ශිවම් මාවි, මුකේෂ් කුමාර්.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය: දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර, නුවන් තුෂාර

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...