බලව මිනිසුනි! රටක් වළපල්ලට යැවූ මර්මස්ථානවල කෙරුවාව !

Share post:

ජනතාවකගේ යහපැවැත්ම පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ “පරමාධිපත්‍යය” බලය හිමි ආයතන විසින් එකී බලය ලබාදුන් ජනතාවගේ දෛනික ආහාර ටික පවා අහිමි කර ඇත්නම්, එය සාපරාධී මානව අපරාධයකි.
මේ මහා අපරාධයේ තරම කවර මිනුම් දණ්ඩකින්වත් මැනිය නොහැකි තරමට දැන් ඔඩුදුවා තිබේ. ඉදිරි දශකය තුළ දී වත් මේ අපරාධයේ “හානි පූර්ණය” සපුරාලනු හැකිද ?

ශ්‍රි ලංකාවේ ජනතාව තම පරමාධිපත්‍ය බලය පවරා ඇති විධායකය, ව්‍යවස්ථාදායකය සහ එමගින් නැවත බලය ලැබ ඇති ආයතන අතුරින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව , ශ්‍රි ලංකා මහ බැංකුව මතු කියැවෙන මූල්‍ය අපරාධවල සාහසික අපරාධකාරයෝ නොවේද?

රුපියල් බිලියන 13,246ක් (ට්‍රිලියන 13.2) රටට අහිමි කළේ කෙසේද. …?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අසේල කළුගම්පිටිය මහතා Washington Goble finnasig Integrity ආයතනයේ සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ Overvalued and Undervalued වලින් පසුගිය වසර 09ක කාලය තුළ රුපියල් ට්‍රිලියන 13.2ක් හෙවත් රුපියල් බිලියන 13,246කට සරිලන ඩොලර් ප්‍රමාණයක් රටින් පිටකිරීම සහ රටෙන් වසන් කිරීම සිදුකර ඇති බවයි. ශ්‍රී ලංකා රේගුව හරහා පමණක් Undervalued Invoice වලින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,400ක් රටට අහිමි වන බව ඔහු පෙන්වා දෙයි.

ආර්ථික විශ්ලේෂක ධනූෂ ගිහාන් පතිරණ පෙන්වා දෙන අන්දමට 2008 -2018 වසර 10 තුළ Over invoicing හරහා රටේ ව්‍යාපාරිකයන් ලෙස පෙනීසිටින ජාවාරම්කාරයන් රටින් පිටතට ගෙන ගොස් ඇති මුදල ඩොලර් බිලියන 4කි. ඉහත ජාවාරම්කරුවන් දේශීයව උපයන රුපියල් බැංකු මාර්ගයෙන් ඩොලර් බවට පරිවර්තනය කර (Over invoicing) විදේශයන්ට ගෙන ගොස් තිබේ.

මේ ජාවාරම් සාමාන්‍ය ආර්ථික ඝාතන නොව, ආර්ථික සමූල ඝාතන නොවන්නේද ?

මහ බැංකු අධිපතිට අනුව මේ වසරේ මුල් කාර්තුවේ පමණක් රටට ගෙනැවිත් නැති අපනයන ආදායම ඩොලර් බිලියන 1.1 කි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ලබාගැනීමට දැන් මාස ගණනාවක සිට මෙරට ආණ්ඩු නොගන්නා උත්සාහයක් නැත. ඒ අතර මේ වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 1.1ක මුදලක් එකී ව්‍යාපාරිකයන් තවමත් රටට ගෙනැවිත් නැත. ඒ සම්බන්ධයෙන් අද වනතුරු ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු පියවරක් ගෙන නැත. රට තුළ ඩොලර් නොමැතිව ඉන්ධන නැව් සදහා ඩොලර් ලක්ෂ ගණනක් ප්‍රමාද ගාස්තු ගෙවමින් සිටී.

2012 සිට 2022 දක්වා රුපියල් බිලියන 5,800ක (කෝටි 5,80,000) රාජ්‍ය ව්‍යාපෘති 260කින් 220 ක් අසාර්ථක ය.

කුඩා කල සිට නිතර ඇසුණු “ස්ථාපිත ආදර්ශ” කියමන් “මුංට හෙණ හත ගහන්න එපැයි” අපට ද ඉබේ ම කියවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් අංශයේ සමීක්ෂණයකට අනුව ඉහත මුළු කාලය තුළ රටේ විවිධ තැන්වල ක්‍රියාත්මක කළ දේශීය සහ විදේශීය ණය ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘති 260 කින් සාර්ථක වී ඇත්තේ සියයට 12 කි.

එම ඇගයීම් සමීක්ෂණ. වාර්තාව ප්‍රකාශ කරන පරිදි වැයකර අති විශාල ධනස්කන්දයට අනුව ව්‍යාපෘති 260 සාර්ථක වූවා නම්, මෙවැනි ආර්ථික ව්‍යසනයක් උදා නොවේ. මෙහි ඇති ඛේදවාචකය වන්නේ අද දවසේ පවතින ණය බරට මේ ව්‍යාපෘති 260 ණය ද ඇතුළත් වී තිබීමයි. මේ අසාර්ථක වීමේ වගකීම ගන්නේ කවර දේශපාලකයා ද?

රුපියල් කෝටි 5,80,000ක් ගැන පසුවිපරමක් කළේ කවුද? ඊට පෙරළා ලැබුණු ප්‍රතිලාභය කුමක්ද?

2022 ජූලි 30ට නොගෙවා, පැහැරහැර ඇති බදු මුදල රුපියල් කෝටි 77,300 යි.

පසුගියදා පාර්ලිමේන්තුවේ “රාජ්‍ය ගිණුම් කාරක සභාව” ඉදිරියට පැමිණ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රෙදි ද ඇඳගෙන, කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නොමැතිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මේ වසරේ ජූලි 30 දිනට නොගෙවා පැහැරහැර ඇති බදු මුදල් සහ ඊට අදාළ දඩ මුදල්වල එකතුව රුපියල් බිලියන 773.9ක් බවයි. එහි වටිනාකම රුපියල් කෝටිවලින් ගත් කළ රුපියල් කෝටි 77,300කි.

මේ ව්‍යාපාරිකයන් කවුද? ඔවුන්ගේ ලාභාංශ, මහජනතාවගෙන් එකතු කරන වැට් බදු මේ රුපියල් කෝටි 77,300ට ඇතුළත් ය. රටේ විගණකාධිපතිවරයා ද එම රැස්වීමේ අසුන් ගෙන සිටි අතර, බදු නොගෙවා පැහැරහැර ඇති ව්‍යාපාරිකයන්ගේ නාම ලේඛනය තමන් සතු බව ද ප්‍රකාශ කළේ ය. එහෙත් ඒ නම් ප්‍රසිද්ධ කිරීම එහිදී සිදු නොවීය.

2022 වසරේ රුපියල් මිලියන 5,130ක (රුපියල් කෝටි 513) සුරා බදු ගෙවීම පැහැර හැරලා…!

රට තුළ පවතින මත්පැන් නිෂ්පාදනාගාර 11ක් 2022 වසරේ මේ දක්වා නොගෙවා පැහැරහැර ඇති බදු මුදල රුපියල් මිලියන 5,130ක් හෙවත් රුපියල් කෝටි 513කි. මින් රුපියල් කෝටි 280ක බදු මුදලක් පැහැරහැර ඇත්තේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ සිටි අර්ජුන් ඇලෝසියස් විසිනි.

ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්, කැසිනෝ ආයතන, ඇගළුම්, තේ අපනයනකරුවන් ඇතුළු ව්‍යාපාරික රොත්තක් බදු ගෙවීම් මුළුමනින්ම පැහැර හැරලා…!

රටේ හරි අඩකට සහල් අලෙවි කරන ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් , කැසිනෝ සමාජ ශාලා හිමිකරුවන්, තේ අපනයනකරුවන්, ඇගළුම් කර්මාන්තකරුවන් , සුපිරි වෙළෙඳ සැල් ජාලා හිමිකරුවන්, නිවාස සංකීර්ණ අලෙවිකරුවන් ඇතුළු ව්‍යාපාරික රොත්තක් ශතයක හෝ බදු මුදලක් නොගෙවන බව දැන් හෙළිවී තිබේ.

වසර කිහිපයක් තිස්සේ ඔවුන් මෙලෙස රජයට බදු නොගෙවා තම ව්‍යාපාර යහතින් පවත්වාගෙන යන්නේ කාගේ ආශිර්වාදයෙන් ද ? වසරකට රුපියල් බිලියන 3,000ක් පමණ අතිවිශාල බදු මුදලක් නොගෙවා පැහැර හරිද්දී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බකන් නිලාගෙන ඉන්නේ නිකම් ම නොවන බව දන්නෝ දනිති.

විධායකය, ව්‍යවස්ථාදායකය , ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ සාහසික අපරාධයේ හවුල්කරුවන් නොවේ ද ?

රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් දෛනික ආහාර වේලවත් සරිකර ගත නොහැකි පරිද්දෙන් රට ආර්ථික වශයෙන් අන්ත අගාධයට වැටී තිබෙන්නේ කෙසේ දැයි මේ ලිපිය කියවන ඕනෑම කෙනෙකුට පසක් වනු ඇත. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 42ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. මෙහි සඳහන් වන්නේ රටේ සිදුවන ආර්ථික අපරාධවලින් කිහිපයක් පමණි.

ඉහත ආර්ථික අපරාධ එසේ සිදුවෙද්දී ජනතාවගේ “පරමාධිපත්‍යය” බලය ලැබූ ජනාධිපති, පාර්ලිමේන්තුව ඇතුළු සියලු වගකිවයුතු ආයතන නිහඬ ව ඊට ආධාර අනුබල දෙමින් ක්‍රියාකිරීම කොතරම් සාහසික අපරාධයක් ද? මේ සියලුම වගකිවයුත්තෝ වැටුප්, යාන වාහන ඇතුළු අනේක වරප්‍රසාද භුක්ති විඳින්නේ ද ඉහත මහා ව්‍යසනයක ගිලී සිටිමින් ම රජයට ගෙවන බදු මුදල්වලිනි. එහෙයින් ඔවුන් කරන අපරාධය වඩා සාහසික අපරාධයක් වනු ඇත.

මේ සාපරාධී ආර්ථික අපරාධකරුවන්ට එරෙහි සැබෑ මිනිසුනි …. !

ඔබේ නිහඬ බව දැන්වත් බිඳ හෙළන්න !

(පෝද්දල ජයන්ත)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...