ගෝඨාභය ජනාධිපති සමයේ සලේ – මවුලානා හමුවකට කාමර වෙන්කළ වාර්තා සීඅයිඩියට !

11
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සහ අසාද් මවුලානා අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන් සඳහා කාමර වෙන්කරවා ගැනීමේ සහ මුදල් ගෙවීමේ කටයුතුවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

එම වාර්තා ලබාගැනීම සඳහා අදාළ හෝටලයට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු හෝටලයේ කළමනාකාරිත්වයට මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

2020 අගෝස්තු 15 සහ 16 යන දෙදින අහුංගල්ලේ පිහිටි රියූ නම් හෝටලයේදී සුරේෂ් සලේ සහ තමන් හමුවූ බව දැනට විදේශගතව සිටින පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වූ අසාද් මවුලානා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබිණි. එවැනි හමුවක් සිදු නොවූ බව සුරේෂ් සලේ විසින් තරයේ ප්‍රකාශ කර තිබුණත්, වෙනත් සාක්ෂි මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබුණේ අදාළ දිනවලදී එවැනි හමුවක් සිදු වී ඇති බවයි. අදාළ කරුණු තවදුරටත් තහවුරු කරගැනීම සඳහාත්, ඊට අදාළ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහාත් මේ තොරතුරු අවශ්‍ය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සුරේෂ් සලේ ඇතුළු තිදෙනකු සම්බන්ධ වී ඇති බවත්, ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 04දා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශනවලදී මෙන්ම හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රසාද් රණසිංහ සහ නිශාන්ත සොයිසාගේ ප්‍රකාශවලින් ද අතිශය සංකීර්ණ සහ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.