ලංකාවෙන් චන්ද්‍රිකාවක් යැවීම සහ ගල්අඟුරු ආනයනය අතර සම්බන්ධයක් !

10
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

තමන් විදුලිබල හා බලශක්ති ඇමැති ධුරය දරන සමයේ ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වූ විදේශීය සමාගමක දේශීය නියෝජිතයන් සහ ලංකාවෙන් අභ්‍යවකාශගත කළා යැයි කී චන්ද්‍රිකාවක සිදුවීම අතර ඇති අන්තර් සම්බන්ධය කුමක්දැයි සොයාබැලීම අතිශය වැදගත් බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.

හිටපු ඇමැතිවරයා මේ බව අවධාරණය කළේ මෙරටට ගල්අඟුරු ආනයනය කිරීම සහ ඊට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. මේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ය. අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ වෙති. ගල්අඟුරු ආනයනය කිරීමේ 16 සහ 17 නැව් වාර සම්බන්ධයෙන් මතුවී තිබූ ගැටලුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට දෙවැනි වරටත් හිටපු ඇමැතිවරයා කොමිසම හමුවට කැඳවා තිබිණි.

මේ සම්බන්ධයෙන් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ලංකා නැව් සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ කාංචන රත්වත්තේ කරුණු රැසක් සඳහන් කර තිබූ අතර, එහිදී ඔහු පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට සහ එවකට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩුට චෝදනා කර තිබිණි.  2012 ජූනි 28දා පැවැත්වූ ලංකා ගල්අඟුරු සමාගමේ 20 වැනි අධ්‍යක්ෂ මණ්ඩල සැසිවාරයේ වාර්තා පරීක්ෂා කර නීතිඥ කාංචන රත්වත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 85,891ක් විකිණීමේ තීරණයක් සම්බන්ධයෙන් සාක්ෂි දී තිබූ අතර, මේ පිළිබඳව පාඨලී චම්පික ඇමැතිවරයා පැවසුවේ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස අමාත්‍යංශ ලේකම්වරයා සහ නිලධාරීන් මේ ගැටලු විසඳා ගත යුතු බවත්, තමන් ඇමැතිවරයා ලෙස ගන්නේ ප්‍රතිපත්තිමය තීරණ පමණක් බවත් ය.

ගල්අඟුරු ආනයන සහ ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කළ විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි කැඳවීම පසුගිය 04දා අවසන් කෙරිණි.