එක මලෙන් වෙනස් කුරුල්ලන් දෙදෙනෙකුට පැණි බෙදීම

24

එක මලෙන් වෙනස් කුරුල්ලන් දෙදෙනෙකුට පැණි බෙදීම හෙවත් කවිය පිළිබඳ මගේ කතිකාමය අක්ෂර සටහන…
කවිය සහ කවියා..

කවියාගේ අනුභුතික පුහර්ෂය ශෝකය පාදක ව වර්ධනය වුවද සතුට හෝ සෞන්දර්යය පාදක ව වර්ධනය වුවද, කවියා සිය නිර්මාණ ආතතියට එළැඹෙද්දී ස්වයං කාව්‍ය ම ය ආහ්ලාදයකින් ආතුර වන්නේ ය. සිය අනුභූතිය කවියාගේ පුද්ගලිකත්ව සීමාවෙන් දුරස් ව පොදු වින්දන අවකාශයකට ඇතුඵ වීමට එම ආහ්ලාදය ම යාත්‍රාවක් වන්නේ ය.

කවිය සහ මානවයා අතර ඇති බන්ධනය වචන මතින් නිර්වචනය කිරීම අපහසු ය. මන්ද එය අස්පර්ශනීය වින්දනයක් ම වන බැවිනි. එහි ඇති අස්පර්ශනීය ගතිකය විසින් ඊට සුදුසු නිර්වචන සම්පාදනය කිරීම වළක්වා සිටිනු ලබන හෙයිනි.

තමන්ට රුචි, අරුචි කවි පිළිබඳ බොහෝ දේ පැවසිය හැකි නමුදු ඒවා කාව්‍ය නිර්වචන ලෙස ගැනීම කවියේ සංකීර්ණ ස්වභාවිකත්වය වටහා ගැනීම තව තවත් දුරස් කරයි; අසීරු කරයි. කවිය විඳිය යුත්තේ එහි නිර්මිත අකුරු මතින් ගොඩනැංවෙන සම්මුතික සංකේතාත්මක දෘෂ්‍ය රූප ඇසුරේ නොව, ඉන් උත්පාද වන අපූර්වත්වය මුසු වූ වින්දනය ඔස්සේ ය. එසේම කවිය මතු නොව සමස්ත කලාවම යුගකාරක සමාජ ආර්ථික සහ දේශපාලනික වෙනස්කම් මතින් පැනනැගෙන වෙනස්කම් දරන කලා ගතිකයක් බව සැලකිය යුතුය……….
එවන් කවි මාවතක පිය නගමින් කාව්‍යානන්දයෙහි ගිලෙනු කැමැත්තේ, මම මෑතක කියවූ නව කවි කෘති එකතු දෙකක් ගැන විචාරයක් නොවන වින්දනයෙන් උපන් හැඟීම් සුඟක් අක්ෂර කරමි.

  1. කෘතිය ;. මං
    කර්තෘ ; අනිල් හේරත්
    කවීරේ පුජාපති” යැයී කී සංස්කෘත කාව්‍ය පුවාදය, සංස්කෘතයේ මතු නොව නූතන කාව්‍යයෙහි ලා ද වලංගු බව අපට දැනෙයි. මන්ද කවීහු පුබුද්ධ හු ය. පුවීණ හු ය. විචාරක සක්‍යතාධාරී හු ය. පුවණතාධාරී හු ය. පෙම්වත් හු ය. පසමිතුරු හු ය. මෙකී හු ය. නොකීහු ය. එනිසා කවියාට තවමත් මැවුම්කාර භූමිකාවේ නිරත වීමේ ශක්තිය ඇත්තේ ය.

මා අනිල් හේරත් නම් කෙටිකතාකරුවා සේ ම “මං” කෘතිය හරහා කිවිවර වරම ලබා ගත් කවියා ද සලකන්නේ සාහිත්‍යයේ මැවුම්කාර භූමිකාව පවරා ගත්තෙකු හැටියට ය.

“සැණෙලි වියුම්..” ඔස්සේ ක්ෂුද්‍ර කෙටිකතාවට අවතීර්ණ වු ලේඛකයා ” ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්” හරහා එහි දිගුවක් උදෙසා මැදිහත් විය. මෙවර ඔහු තමාගේ මැවුම්කාර බලය භාවිත කර ඇත්තේ කවිය විෂයයෙහි ය. එය “මං” නම් මමංකාරමය ශබ්දාර්ථ සහිත අමුතුම කවි මගකට එළැඹෙමිනි. මා අමුතුම කවි කීවේ උවමනාවෙනි. මන්ද ඔහු මෙම කාව්‍ය මැදිහත් වීම ” ගැදි කවි” ලෙස හඳුන්වන නිසා එතෙක් මා දන්නා හෝ මා දැන සිටින හෝ ගැදි කවියට වඩා මෙකව අමුතු වන බැවිනි.

ගද්‍යය සහ පද්‍යය (කවි) බෙදුම් රේඛා ගත වීමට පෙර ලාංකික පසුතලයේ බිහි වූ ගද්‍යයේ, භාෂාත්මක රිද්මීය ලක්ෂණ, පසුකාලීනව සිංහල කවියට සංස්කෘත කවියෙන් ලත් උත්තේජනය ඉක්මවා ගිය හැඩයක් සහ ගැඹුරක් එකතු කළ බව නොකිව මනා ය.

භාරතීය කාව්‍ය විචාරකයකු වූ ‘රාජශේකර’ යන්ගේ හැඳුනුමකට අනුව හෙළ දිවෙහි වහරණ බස “වාක් සුධා” ගුණධාරීය ව පැවතියකි. එය ගැයුම් රිද්මයෙහි තිබූවකි. ඒ බව මුල්කාලීන ගද්‍ය කෘති සාක්ෂි වන බවට වන විචාර මත අප කියවා තිබේ.

ඒ අනුව ගත් කල්හි “වෘත්තගන්ධි” ගද්‍ය රටාව කාව්‍ය රිද්මයෙහි පිහිටි බවට ඉගැන්වීමෙහි ලා අපට දක්වා ඇති සුප්‍රසිද්ධ ගද්‍ය රචනාව වන්නේ ” කුවේණි අස්න” යි. එහි වැකි රටා විරිත් වැකි ලෙස නිර්මාණය වීම උදාහරණ කොට ය. උදාහරණ උපුටන නොදමන්නේ මේ සටහන දීර්ඝ වන නිසා ය.
අනිල් හේරත්ගේ “මං” කාව්‍ය වෙනුවෙන් ඔහු “ගැදි කවි” යන්න තෝරා ගැනීමට එය බලපෑවත් නැතත් ඔහුට මග පෙන්වූ නූතන ආදර්ශ තවත් තිබිය හැකිය. අපට අනුව අජිත් තිලකසේන, පරාක්‍රම කොඩිතුවක්කු, (සමහර කවි වලදී) සිරී ගුනසිංහ, සහ තවත් අය, සඳසටත් නිසඳසටත් අතර නිදහස් කාව්‍ය රටාවකට අවතීර්ණව සිටියත් ගැදියෙහි වූ පැදි රිද්ම රටාව සිංහල කවියේ අතුරණ ලද්දේ ගුණදාස අමරසේකර පුමුඛ ව ආරම්භ වූ කාව්‍ය රටාවට ඇතුඵ වූ පස් මත් විරිත ඔස්සේ ය.

අනිල් හේරත් ගැදි කවි ලෙස අපට ඉදිරිපත් කරන්නේ එමග ගිය කවියකු ලෙස නොව සැබැවින් ම ගැදි පාඨ කිහිපයක්.. හිස් අවකාශයක් සහ අංක ගත වූ කාව්‍ය පාඨයක් සහිතව ය. එක පිටුවක මේ තුන් ඈඳුතු රටා ව පිහිටුවන අතර කවිය ලෙස මේ අවස්ථා තුන ම වින්දනය කිරීමට අපට ආරාධනා කරයි..
උදාහරණ ඇතුළත් නොකරන්නේ මේ කෘතිය කියවීමට පෙළඹීමක් ලෙස සහ එක උපුටනයකින් කතුවරයාගේ සමස්ත මානව දෘෂ්ටිය හෙළි කිරීම උගහට වන බැවිනි.

කෙසේ වෙතත් මේ ගැදි කවි රටාව පුවණතාධාරී වීමට ඉඩ කඩ අවම යැයි මට සිතෙන්නේ වාසනාවක් යැයි යන සිතිවිල්ල සමග ය. මන්ද නන්දන වීරසිංහ සහ ආරියවංශ රණවීර මුල් ව ගොඩ නැංවූ අගනා කෙටිකවි කලාව අයාලේ ගිය හැටි සහ යන හැටි දුටු සහ දකිමින් සිටින නිසා ය.
අනිල් හේරත්ගේ ” මං” ගැදිකවි කෘතිය පිළිබඳ ව විචාරත්මක අදහසක් පළ කිරීමේ සක්‍යතාව සහිත සාහිත්‍යවේදීන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය බව පමණක් සටහන් කරමින් මා නවතින්නේ සැබවින්ම එම හැකියාව මා සතු නොවන බැවිනි.
අනිල් සොයුර.. හැමදාම අපව කරකවා හරින ඔබ “මං” මතින් යළි එය ම කර ඇති බව පමණක් කියමි..

  1. කර්තෘ : වසන්ත පුදීප් හෙට්ටිආරච්චි
    කෘතිය : ගිරග තෙක්ඇති කුඩා මං පෙත්.
    සුභාවි පොතක්.

කවිය යනු කවියාගේ ආත්ම පුකාශනය යැයි පුචලිත අදහස සිංහල කවියේ මහා අඩංගුව බවට පත් ව ඇති බව නොරහසකි. ඒ පිළිබඳ ව ඇති විශ්වසනීයම සහතික ය වන්නේ ලාංකික සාහිත්‍ය සම්මාන උළෙල යන් ය. කවියේ ඇති මෙම ලක්ෂණය කවියා සහ පාඨකයා අතර අන්‍යෝන්‍ය සබඳතා ව මනා ශක්තිමත් බන්ධනයක් බවට පත් වීමේ ශක්තිය දරන බැවින් සිංහල කවියන් බොහෝමයක් නවකතාකරුවන්ටත් වඩා (එය ගරු අර්ථයෙන් ගනු මැනව) ජනප්‍රිය රචකයන් ය. එම ගුණධාරී තවත් එක් නූතන කවියකු ලෙස මම වසන්ත පුදීප් හෙට්ටිආරච්චි කවියා සලකමි.
මෙයට පෙර කාව්‍ය කෘති තුනක් පුකාශයට පත්කර ඇති කවියා “ගිරග තෙක් ඇති කුඩා මංපෙත්” කෘතිය සිය සිව්වැනි කාව්‍ය එකතුවක් ලෙස අපට දායාද කර තිබේ.

ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් ඇගයීම් ලද ” මල් සුවදැති හිසරදයක්” කෘතියට පසු ඉදිරිපත් කරන ලද අසන්නම කෘතිය බැවින් ඔහුට මෙම වෑයම මහත් අභියෝගයක් වන්නට ඇත. ඒ බව මෙම කෘතිය උදෙසා කාව්‍ය තෝරා ගැනීමේ සිට ඒවා පෙළගැස්ම දක්වා යොමු කර ඇතැයි සිතෙන අවධානයෙන් පෙනෙයි. එසේම කවියා තමා වෙත පවරා ගත් අභියෝගයට සාර්ථකව මුහුණ දී තිබෙන බව අපට දැනෙයි. වින්දනය වෙයි.
කවිය කවියාගේ ආත්ම පුකාශනය මතින් ගොඩනැගෙන බැවින් ඒවා කවියාගේ විදීම්, දැරීම්, ඉවසීම් සහ පිටුදැකීම් සහිත කවියාගේ ම දෘෂ්ටියට අනුගත විචිත්‍ර වර්ණාලෝකයකින් සමන්විත කලා කෘතියකි. කාව්‍ය එකතුව කවියාගේ මනෝමන්දිරයක් ලෙස සලකන්නේ නම් එහි ඇති සියක් කවුඵ වසා තිබිය නොහැකි අතර ඒවා විවර ව තිබිය යුත්තේ පාඨකයාට නිදහසේ එහි ඇතුඵව ආනන්දමය වින්දනයක් ලබා ගත හැකි අයුරිනි.
වසන්ත පුදීප් කවියා ඔහුගේ සුපුරුදු කාව්‍ය මාවතෙහි පිහිටා සිට මෙවර ද අපට නිදහසේ එහි ඇතුඵවීමට ඉඩ හැර තිබෙන බව කිවමනාය.

නුඹට පමණක් කුමට

මේ ගඟට පායා ඇති සඳට
ඉරක වාසගමක් නොමැත

අපට මග කියන තරුවට
සඳක වාසගමක් නොමැත

අප එතෙර කරවන ඔරුවට
ගසක වාසගමක් නොමැත

ඉතින්…
නුඹට පමණක් කුමට..”

කවියාගේ තියුණු සමාජ නිරීක්ෂණයෙහි ලා ගෙනහැර පා හැකි මෙවැනි උදාහරණ බොහෝ ය. කවියාගේ සමාජ දෘෂ්ටියේ මානව දයාව කවියාගේ බලවත් අවිය බවට පත් කරලීමෙහි ලා මේ කවියා ගත් තැත පුශස්ත ය. වගවාසගම් රහිත මානවයා තවදුරටත් අසරණ පිටුදැකිය යුතු ද යන පුශ්නය අපෙන් විමසන කවියා සමාජයේ අඳුරු පැතිකඩක් මානවවාදී ආස්ථානයක බහා අප ඉදිරියේ නිරාවරණය කිරීම පැසසුම් කටයුතුය.

ස්වකීය කුටුම්භය ද සමාජ සංචලනයේ සියලු චලනයන්ට මැදි ව සිටින බව දක්වන කාව්‍ය මැදිහත් වීම් ද අපගේ අවධානයට ලක් කෙරුණ බව දක්වන්නේ මෙම කාව්‍ය කෘතියේ බොහෝ කවි සාර්ථක සීමා ඉම පැන ඇති බවට වන සඳහන ද සමගිනි..
තමන් සමග එකම නිවසේ වසන අම්මා (සැමියාගේ) සිල් ගැනීමට ගිය ⁣පුන් පෝදා අලුත විවාහ වූ යුවලක් වින්දනය කරන වෛවාහික සුන්දරත්වය කවියට නගන අපූරුව..!

( අග කොටස පමණි)
” …. බුබුලු මියැදුණු බීර උගුරින්
වුව නැගී එයි හිනි කොච්චි රස
කැලැතෙමින් තොල් දෙපෙති අතරින්
වෙනදාට නැති හැඩට ඉහිරෙයි
ඉතින් ප්රේමිය..
යළිත් පසළොස්වකක් පිළිබඳ
සැණකෙළි හැඟුම් මැවේය.
වැගිරෙනා මෘදු සඳ කැඵම් යට
ගැටෙන සෙවණැලි අපේය..”

සමාජ යථාර්ථයේ ස්වරූපය මනාව නිදන් කළ ” “පෝය දා සඳ අපේය”කවියේ සම්පූර්ණ උපුටනයක් නොවූව ද එකම නිවසක් තුළ ඇහිරෙන සංස්කෘතික සම්පුදානයක තෙරපුම දෙවයස් කාණ්ඩගත මානවයන් වින්දනය කරන අපූරුව..! වටහා ගැනීමට එය පුමාණවත් බව සිතමි. මව ලෝකෝත්තර ගමනක ය. ඇගේ අපේක්ෂා සාධනය දරු වගකීමකි. එනිසා ය පුතා අම්මාව සීල සමාධියනට පන්සලට ඇරලවන්නේ. දරුවෝ ලෞකික විඳීමක ය. මානව ජීවිතයේ ගතිසොබාවක මහිම ය. !දෙපිරිස තමතමන්ගේ අපේක්ෂා සාධනයෙහි ලා අවස්ථාව වනතුරු කල් මරති. එයද දහසක් බුදුන් උපදිතැයි විශ්වාසිත පෝදා ය.
වසන්ත.. මේ ලිවීම අගනා ය. කවියාගේ ආත්මයේ සළුපිළි ලෙහා නිදහස් වින්දනයේ අවස්ථා සාධනයේ අපූරු රූපක මැවීමකි..
කිව යුතු දෑ කීමට වෙලාව ඇතත් ලිවීමට වෙලාව නැත.. එයට බාධා බොහෝය. එනිසා ම නවතිමි.. කවියේ කැමැත්තෝ මේ කාව්‍ය කෘති දෙක ම කියවත්වා..!
දැනට නවතිමි.

අනිල් හේරත් සහ වසන්ත පුදීප් හෙට්ටිආරච්චි කාව්‍යක්කාර දෙපලට සුබ පතමි..
( ලියමින් ම යොමු කළ සටහනක් බැවින් අක්ෂර සහ වැකි රිද්මයේ අඩුපාඩු තිබිය හැක.. ඒවා පසුව සංස්කරණයට යටත් ව මුදා හරිමි..
කවිය සමාජයට මුදා හැරි පසු එය තවදුරටක් කවියාට අයත්යැයි නොසිතමි… එනිසා මේ සටහන ද දැන් මගේ නොවේය; ඔබේ ය..

අනුරසිරි හෙට්ටිගේ