අපේ අභ්‍යන්තර ලෝකයට එබෙන ‘මව්වත් හදවත්’

42

දවස් කීපයක් තිස්සෙ රෑ නින්දට පැය බාගයක් විතර තියලා පිටු 10-15ක් කියවමින් අවසන් කරපු පොතක් මේක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම Slow Burning නවකතාවක්. පහුගිය කාලෙ තිබුණු චුරු චුරු වැස්සයි, කලුවරයි දෙක මැද සන්සුන් නින්දකට මයින්ඩ් රිලැක්ස් කරපු පොතක්.
පොත පුරාම දුවන්නෙ සොබාදහමයි කාන්තාවයි. හැබැයි, පිරිමින්ගෙ ආත්මයේ නිදන්ගතව ඉන්න ගැහැනිය වුණත් පිරිමින්ට හමු වෙනවා පොතේදි.
පෞද්ගලිකව මගේ ලේඛන හැම එකකම වගේ ඉන්නෙ කතා නායිකාවක්. මොකද මගේ ලිවීම ඇතුළෙදි තමයි මං, ජීව විද්‍යාත්මකව යටපත් වුණු මගේ කාන්තා ආත්මය ගවේෂණය කරන්නෙ. මව්වත් හදවත් කියවද්දි එහි එන කාන්තා චරිතයෝ වන “ඇය/ පුංචි/ අම්මා/ ආච්චි“ ඇතුළෙන් මට පුළුවන් වුණා ඒ සොඳුරු කාන්තාව නැවත සම්මුඛ වෙන්න. මගේ කාන්තා ආත්මය, මව්වත් හදවත් හි කාන්තාවන් එක්ක මොනවට ගැලපුණා.

පොත අත්පත් කරගෙන යම් කාලයක් ගෙවුණා වුණත්, කියවන්න විරාමයක් ලැබෙනකල් හිටපු පොතක්. ඒ බලා සිටීම පාඩු නෑ. ඩිල්ශානි ලියාගෙන ලියාගෙන ගිහින් එයාගෙත් හැඟීම් පිටාර ගලද්දි ද මන්දා වෙලාවකට කවියක ගිල්වලා තමයි සමහර ඡේද අවසන් කරන්නෙ. සමහර වැකි අවසන් කරන්නෙ. කියවාගෙන කියවාගෙන ගිහින් එහෙම තැනකදි නවතින්න ලැබීම භාවනාවක්.

පොත එහෙම් පිටින්ම සංකේත ගබඩාවක් වුණත්, මං කැමතියි මේක යථාර්ථයේ තියලා දකින්න. මොකද මීට කලින් මේ වගේ සංකේතාර්ථ ගමන් ගැන කතා කරපු “ලයිෆ් ඔෆ් පයි“, “ද ඇල්කෙමිස්ට්“ වගේ පොත්වලින් වෙනස්ව ඩිල්ශානිගෙ පොතේ සංකේත අපේ ආත්මයේ ඔහේ පාවෙනවා. දේශපාලනිකව අල්ලාගන්න බැරි තරම් සැහැල්ලුවෙන් පාවෙනවා. පොතක් කියවලා අවසන් වුණහම ඒ වගේ සමහර කොටස් තියෙන්න ඕනෑ අල්ලාගන්න බැරිව අතහැරෙන. නිදහසේ පාවෙන.

ස්ත්‍රීවාදය-පුරුෂ මූලික සමාජය වගේ ඒකපාර්ශ්වික සංවාද සුළුපටු වෙනවා, සොබාදහමට නැමෙන ස්ත්‍රී පුරුෂ ආත්ම ඉදිරියේ. පුංචි කෙල්ලක්-කොල්ලෙක් උස් මහත් වෙලා ලෝකය එක්ක තනිව ගෙනියන සටන ඉදිරියේ. හැම ගැහැනියක්ටම පිරිමියෙක්ටම පුළුවන් ගහක් එක්ක කතා කරමින් උස් මහත් වෙන්න. ගහක් කොළයක් එක්ක ජීවිතය බෙදාගන්න. කොළවරුසාවෙ හිටපු පුංචිත්, ඇයත්, අම්මාත්, ආච්චිත් අපිට “මව්වත් හදවත්“ නවකතාවෙදි ඒ සත්‍යය තහවුරු කරනවා. කොටින්ම මං උපන් ගෙදර මට එහෙම ගහක් තිබුණා. ඒක ඇකේෂියා ගහක්. මං ලොකු වුණේ ඒ ඇකේෂියා ගහ එක්ක. මගෙ යෙහෙලියකට එහෙම ගහක් තිබුණු කතාවක් මට වතාවකදි කිව්වා. ඒක සමන්පිච්ච ගහක්. ඩිල්ශානි මේ පොතේදි අපිට සම්මුඛ කරනවා ඒ හැම ගහකටම වඩා පරම්පරා ගාණක් තිස්සෙ “කොළවරුසාව ගමේ“ මහගෙදර හිටපු “රට දෙල් ගහක්“.

ඉතින් මේ නවකතාව යථාර්ථයක්. අපි ගස් එක්ක කතා කරනවා. අපේ ජීවිත ගහකොළ එක්ක බෙදාගන්නවා. මැරෙනකල්ම අපි ලොකු වෙනවා.

නුවන් ඉෂාර මහගමගේ