ඥානසාර හිමි හිරේ ගියේ කොහොමද? – සවිස්තරාත්මක වාර්තාවකි !

20
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද ඡායාරූපයකි.)

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත සිරගත කිරීමත් සමඟ ආණ්ඩුවට මෙන්ම අධිකරණයට එරෙහිව ද දේශපාලන වේදිකාවල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාර ව්‍යාපාරයක් දියත් වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය නිල ෆේස්බුක් පිටුව හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඥානසාර හිමියන්ට දුන් ජනාධිපති සමාව අවලංගු වීම තමන්ගේ ගැටළුවක් නොවන බව පෙන්වීමට උත්සාහ කර තිබේ. එසේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ සම්බන්ධයෙන් මහජනතාව තුළ යම් ගැටළුවක් පැන නැගිය හැකි තත්ත්වයක් ඇති කිරීමට සිරිසේන මහතා අසත්‍ය කරුණු ද ඇතුළත් කර තිබිණි.  මෙම ලිපිය ඥානසාර හිමියන් හිරේයෑමට සිදුවූයේ ඇයිද යන්න ගැන සවිස්තරාත්මක සොයා බැලීමකි.

මෙම නීතිමය ක්‍රියාවලියේ ආරම්භය 2016 ජනවාරි මස 25 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් වුව ද සමස්ත සිදුවීමේ ඉතිහාසය 2009 අගෝස්තු දක්වා දිව යයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2009 වසරේ දී මුලින්ම පැහැරගෙන ගිය අතර පැය කිහිපයකට පසු ඔහු අතරමග දමා ගොස් තිබිණි. ඉන් පසු 2010 වසරේ ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන දින සවස මිතුරකු මුණ ගැසීමට යන බව පවසා ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් පිටව ගියද, ඔහු යලි කිසිදා නැවත පැමිණියේ නැත. එතැන් සිට තම සැමියා සොයා සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මිය ආයතනවලට පැමිණිලි කරමින්, නඩු ගොනු කරමින්, ලිපි යවමින් ආදී විවිධ කටයුතු කරමින් තම සැමියාට යුක්තිය ඉල්ලා සිටියාය.

එම නොනවතින අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම ගැන විමර්ශන ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බලකායේ අණ දෙන නිලධාරීවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පසු ඝාතනය කළ බවට ද කරුණු සොයා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව මිනීමැරීම ගැන ද කරුණු වාර්තා කළේය. මෙම නඩු කටයුතු සිදුවූයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේය.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් පිරිස දින 14කට වරක් රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම අවස්ථාවල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා ද අධිකරණයට පැමිණීම සිදුවිය.

හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස 2016 වසරේ ජනවාරි මාසය වන විට කටයුතු කරමින් සිටියේ රංග දිසානායක මහතාය. එදා 2016 ජනවාරි මස 25 වැනිදා ය. එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ (පසුව ඝාතනය කිරීමේ) සිද්ධියට අදාල බී 7417/10 දරන නඩුව කැඳවීය. නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ දිලීප පීරිස් මහතා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයේ පෙනී සිටියහ. රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට අධිකරණයට ඉදිරිපත් කරන ලද යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වෙනුවෙන් ද නිතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

සියලු පාර්ශ්වවල කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාර හමුදා බුද්ධි අංශ නිලධාරීන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එම නඩුවේ කටයුතු එදිනට අවසන් විය. අනතුරුව අධිකරණය ඊළඟ නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවට කිසිදු නීත්‍යානුකූල සම්බන්ධයක් නොමැතිව මහජනයා වාඩිගෙන සිටින අසුනක සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හදිසියේ නැගී සිට විවෘත අධිකරණය ඉදිරියට පැමිණ අධිකරණයේ අවසරයකින් තොරව උස් හඬින් අධිකරණය ඇමතීමට පටන් ගත්තේය. එහිදී ඥානසාරහිමියන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ එක්නැළිගොඩ පැහැර ගැනීමට අදාල නඩුවේ සැකකරුවන්ට වහාම ඇප ලබා දෙන ලෙසත්, ඒ වෙනුවට තමන්ව බන්ධනාගාරගත කරන ලෙසත්ය.

මහේස්ත්‍රාත්වරයා භාෂා පරිවර්තකවරයා ලවා අධිකරණ කටයුතුවලට බාධා නොකරන ලෙස අවවාද කළද එය නොතකා හැරී ඥානසාර හිමියන් අධිකරණය මගින් ලබාදෙන නියෝග පිළිනොගන්නා බවත්, සුදු ජාතිකයන් විසින් සාදන ලද නීති රට තුළ ක්‍රියාත්මක නොකළ යුතු බවත් පවසමින් අධිකරණයේ ආධිපත්‍යයට ඍජුවම අභියෝග කළේය. මෙම අවස්ථාවේදී අධිකරණ ශාලාවට නැවත පැමිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ ඥානසාර හිමිගේ හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් බැවින් වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි. එහිදී කෝපයට පත් ඥානසාර හිමියන් ජ්‍යෙෂ්ඨ රජයේ දිලීප පීරිස් මහතා දෙසට හැරී “නපුංසක රාජ්‍ය නිලධාරියා” යනුවෙන් පවසමින් පරිභවාත්මක ලෙස ඇමතුවේය.

මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා සටහන් තබා ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. මහේස්ත්‍රාත් අධිකරණයකට ලබාදිය හැකි දඬුවමට වඩා බරපතල දඬුවමක් හිමිවිය යුතු අධිකරණයට අපහාස කිරීමේ වරදක් ඥානසාර හිමි කර ඇති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ පියවර ගැනීම සඳහා 2016 මාර්තු 18 දිනැති ලිපිය මගින් මෙම නඩු වාර්තාව අභියාචනාධිකරණය වෙත යොමු කළේය.

හෝමාගම මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීම මත අභියාචනාධිකරණයේ CA (CC) Application No. 04/2016 යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුව ආරම්භ විය. නීතිපතිවරයා ඒ හිමියන්ට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි ප්‍රධාන චෝදනා හතරක් යටතේ චෝනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

පළමුවන චෝදනාව වූයේ 2016 ජනවාරි 25 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කිසිදු නීතිමය සම්බන්ධයක් නොමැතිව, අධිකරණයේ අවසරයකින් තොරව විවෘත අධිකරණය ඇමතීම මගින් අධිකරණ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණයේ ආධිපත්‍යයට අභියෝග කිරීමයි. දෙවන චෝදනාව වූයේ අධිකරණය ලබාදෙන නියෝග පිළිනොගන්නා බවටත් රටේ පවත්නා නීතිය අනුගමනය නොකළ යුතු බවටත් ප්‍රකාශ කිරීමයි. තුන්වන චෝදනාව වූයේ බී 7417/10 නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස අධිකරණයට නියෝග කරමින් අණකර සිටීමයි. හතරවන චෝදනාව වූයේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් මහතාට “නපුංසක රාජ්‍ය නිලධාරියා” යනුවෙන් පරිභවාත්මක ලෙස ඇමතීමයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ විනිසුරු ඒ.එල්. ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ ලෙස විභාග වූ මෙම නඩුවේ තීන්දුව 2018 අගෝස්තු මස අට වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. විනිසුරු මඩුල්ල තීන්දු කළේ ඥානසාර හිමියන් සියලු චෝදනාවලට වරදකරු බවයි. ඒ අනුව පළමු වැනි චෝදනාවට වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද, දෙවැනි චෝදනාවට වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද, තුන් වැනි චෝදනාවට වසර 06ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද, හතර වැනි චෝදනාවට වසර 05ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි.

මෙම සියලු සිර දඬුවම් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය.  ඒ අනුව ඥානසාර හිමි ගෙවිය යුතු මුළු සිර දඬුවම් කාලය වසර 06ක් විය. අභියාචනාධිකරණ තීන්දුවේදී අවධාරණය කළේ ඥානසාර හිමියන් අධිකරණ නඩුවකට කිසිදු සබඳතාවක් නැති අයෙකු ලෙස සැලසුම් සහගතව පැමිණ, විනිසුරුවරයාට තර්ජනය කර බලපෑම් කොට තමන්ට අවශ්‍ය ඇප නියෝගය ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි.

මෙම තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විශේෂ අභියාචනාව 2018 ඔක්තෝබර් පස් වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණයෙන් ප්‍රතික්ෂේප විය.

ඒ අනුව ඥානසාර හිමියන් බන්ධනාගාරගත කෙරිණි.

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස හිමිවරුන් පිරිසක් ඉල්ලීම් කර තිබුණු අතර ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන ලෙස ද පිරිසක් ඉල්ලීම් කර තිබිණි.

මුළු රටම කම්පාවට පත් කරමින් පාස්කු ඉරිදාවක් වූ 2019 අප්‍රේල් 21 වැනිදා ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර මාලාව සිදුවූයේ ඥානසාරහිමියන් බන්ධනාගාර ගතව සිටියදී ය.

ඉන්පසු 2019 මැයි මස 21 වැනි දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කළේය.

මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කෙරිණි. පළමුවැන්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කළ SCFR 256/2019 පෙත්සමයි. දෙවැන්න සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් අගතියට පත් පාර්ශ්වයක් ලෙස තනිව ඉදිරිපත් කළ SCFR 257/2019 පෙත්සමයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා සහ විනිසුරු සම්පත් බී. අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු දෙකම විභාග විය. 2026 සැප්තැම්බර් 10 වන දින විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ලියන ලද පිටු 58කින් යුත් ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එමගින් 2019 මැයි 21 දින මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව නීතිය හමුවේ බලශූන්‍ය බවට ප්‍රකාශ කෙරිණි.

අධිකරණය මෙම තීන්දුව ලබා දෙද්දී ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාපිළිවෙල ගැන අමුතුම ආකාරයේ කාරණයක් නිරීක්ෂණය කළේය.  බන්ධනාගාරයෙන් වාර්තාවක් ලබා ගැනීමත්, ඊට ජනාධිපති අතිරේක ලේකම් (නීති) ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය විසින් අදාල ලේඛන සකස් කිරීමත්, ජනාධිපති ලේකම්ට යොමු කිරීමත්, ජනාධිපතිගේ අනුමැතිය ලබා ගැනීමත් යන සම්පූර්ණ ක්‍රියාවලියම සිදුවී තිබුණේ එකම දිනයක කඩිමුඩියේ බව අධිකරණයේදී අනාවරණය විය. මෙතරම් කඩිමුඩියේ ජනාධිපති සමාව ලබා දීමට හේතුවක් එම ලේඛනවල සඳහන් නොවීම විශේෂත්වයකි.

ජනාධිපති අතිරේක ලේකම් (නීති) ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය විසින් 2019 මැයි 21 වන දින  ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කරන ලද අතිගරු ජනාධිපතිතුමනි / ජනාධිපති ලේකම්තුමනි යනුවෙන් ඇමතූ ලිපියෙහි ඥානසාර හිමියන්ට ඇති නඩු දෙකක් ගැන කරුණු සඳහන් කර තිබිණි. ඉන් පසු ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය. ‘එබැවින් ඉහත නම් සදහන් සිරකරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභා කොට, දඬුවමින් නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කරමි.’ යනුවෙනි. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දිය යුත්තේ ඇයිද යන්න ගැන කිසිවක් එහි සඳහන් වී නොතිබිණි. එහි යටින් මෙසේ සටහනක් තබා ජනාධිපතිවරයා අත්සනට ලබාදී තිබිණි.

‘හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 40042 සහ අභියාචනා අයදුම්පත් අංක C.A (CC) 04/2016 යටෙත් වරදකරු කරන ලද ඉහත නම් සඳහන් සිරකරු හට පූර්ණ සමාව ලබාදීම සඳහා අනුමැතිය ලබා දීම මැනවි.’

ඊට යටින් අනුමත කරමි/නොකරමි යනුවෙන් සඳහන් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමත නොකරමි කොටස කපා අත්සන් කර තිබේ. ඥානසාර හිමිට සමාව ලබාදීමට හේතුව කුමක්ද යන්න ජනාධිපතිවරයා ද සටහන් තබා තිබුණේ නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ පවසන්නේ නීති අංශයේ අතිරේක ලේකම්වරිය තමන්ව නොමග යවා මෙම අත්සන ලබාගත් බවයි. නමුත් ජනාධිපති ගොනුව අධ්‍යයනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ සමාවක් ලබාදීමේදී ඒ පිළිබඳව අධ්‍යයනය කර ලිඛිතව හේතු දක්වා තීරණය ගැනීමේ ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයාට ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සටහන් නොතබා, එකම දිනකදී ක්ෂණිකව අත්සන් තැබීමෙන් පෙනී යන්නේ ඔහු සිය ව්‍යවස්ථාපිත වගකීම අතහැර යාන්ත්‍රික ලෙස කටයුතු කර ඇති බව යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේදී ප්‍රධාන නීතිමය කාරණා කිහිපයක් අවධාරණය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණයයි. ජනාධිපතිවරයා සතු සමාව දීමේ බලතල යනු පෞද්ගලික වරප්‍රසාදයක් නොව මහජනතාව වෙනුවෙන් භාරකාරීත්වයෙන් හොබවන බලයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ සමාවක් ලබාදීමේදී ජනාධිපතිවරයා ඒ සඳහා අදාළ වන හේතු ලිඛිතව සටහන් කළ යුතු අතර එලෙස කිසිදු හේතුවක් සටහන් නොකිරීම නීති විරෝධීය. ජනාධිපතිවරයා තමන්ගේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු නොකර අතිරේක ලේකම්වරියගේ නිර්දේශය දෙස පමණක් බලා යාන්ත්‍රික ලෙස “අනුමත කරමි” යන්න සටහන් කිරීම මගින් සිය බලතල අතහැර කටයුතු කර ඇති බව ද අධිකරණය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 57 වන පිටුවේ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙසේ සටහන් කර ඇත:

“For all the foregoing reasons, I hold that the pardon granted by the 1(A) Respondent to the 5th Respondent is arbitrary, in violation of the public trust and the rules of natural justice, ultra vires his powers and thereby infringes the fundamental rights guaranteed by Article 12(1) of the Constitution. Accordingly, I declare that the pardon granted to the 5th Respondent, as reflected in the Minute dated 21.05.2019, is null and void and is of no force or avail in law.”

එනම් ජනාධිති සමාව ලබාදෙමින් 2019 මැයි 21 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන යෙදූ සටහන නීතිය ඉදිරියේ බලනොපැවැත්වෙන බවයි. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමියන්ට අත්තනෝමතිකව සහ මහජන භාරකාරිත්වය උල්ලංඝනය කරමින් ද, ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කරමින් ද ජනාධිපති සමාව ලබාදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබෙන මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ ය. 

ඥානසාර හිමිට ලබා දුන් ජනාධිපති සමාව බලරහිත වීමෙන් පසු නැවත සිර දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයේ තීන්දුව ලබා දුන් අධිකරණ අපහාස නඩුවට මෝසමක් ගොනු කළේය. ඒ අනුව මුලින්ම එම නඩුව අධිකරණය ඉදිරියේ කැඳවමින් ඥානසාර හිමියන්ට සිතාසි නිකුත් කෙරෙිණි.  ඉන් පසු නඩුව කැඳවූ අවස්ථාවේ දී ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයකු ඉදිරිපත් වුවද ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් වූයේ නැත. ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ඒ හිමියන් අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. කෙසේ වෙතත් ඊට අදාල වෛද්‍ය වාර්තා ඉදිරිඅපත් කර තිබුණේ නැත. නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ඥානසාරහිමි අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් දෙවැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරිණි. ඔක්තෝබර් දෙවැනිදා නැවත නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයට පැමිණ සිටියේ නැත. ඒ අනුව ඒ හිමියන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.

වරෙන්තු මත සිටි ඥානසාර හිමියන් ඊට දින තුනකට පමණ පසු කළුතර ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වන විට තවත් නඩු දෙකකට අළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබිණි. වරෙන්තු මත අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කළ අතර මුලින්ම අභියාචනාධිකරණයටත්, පසුව වරෙන්තු නිකුත් වූ අනිත් අධිකරණ දෙකටත් ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණි.

අභියාචනාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව මත බන්ධනාගාර නිධාරීන් විසින් ඥානසාර හිමියන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන මහත්ම මහත්මීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියම කරන ලද සිර දඬුවමෙන් ගෙවීමට ඇති ඉතිරි කාලය වහාම ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරු නියෝග කළහ.

තමන්ට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඥානසාර හිමියන් ඉල්ලීමක් කළ අතර ඒ හිමියන් වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා ඇති හෙයින් ඥානසාර හිමියන්ට කරුණු දැක්වීමට අවස්ථාව දිය නොහැකි බව අධිකරණය දැනුම් දුන්නේය.

මින් පෙනී යන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත සිරගත කිරීම යනු වත්මන් ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් සහ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් යැයි කියමින් කරන ප්‍රචාරයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි. ඥානසාර හිමියන් එදා සැලසුම් සහගතව හෝමාගම උසාවියේ කළහකාරී ලෙස හැසිරීම සිදු නොකළේ නම් ඒ හිමියන්ට මෙවැනි ඉරණමක් අත්වන්නේ නොමැත. දේශපාලන උවමනාවන්ට අපරාධ කළ කණ්ඩායමක් බේරා ගැනීමට අධිකරණය තුල කළහකාරී ලෙස හැසිරීමේ අවසන් ප්‍රථපලය ඥානසාර හිමියෝ දැන් භුක්ති විඳිමින් සිටිති.

තරිඳු ජයවර්ධන විසින් news19.lk වෙබ්අඩවියට ලියන ලද ලිපියකි.