‘උල්පතක් රැගෙන ඇවිදිනා මගියා’ – චේත්‍යා විදානපතිරණ

10

පොත් අට්ටි අතර සිරවෙමින් සිටිමි. දිනපතා ලියලන පොත් අට්ටි අතර කෙසඟව යන අවකාශයේ අතරමං වෙමි. කියවන්නට ඇති පොත් අට්ටි විටෙක ඇඟේ හැපී දසත විසිරෙයි. එවිට යළි ඒවා අහුලා අට්ටි ගසමි.

චේත්‍යාගේ කවි පොත පෙළ බිඳගෙන මගේ ඇසේ හැපෙනුයේ ඒ අතරය.
චේත්‍යාගේ කවි එක හුස්මට වරක් නොව දෙවරක්ම කියවීමි. ඇය තම කව් බස මෙන්ම ප්‍රකාශන ශක්තියද වර්ධනය කරගෙන ඇති ආකාරය ප්‍රශංසනීය ය. ඒ සරල බස් වහරක් තුළ සියුම් අරුත් දනවන්නට සමත් කාව්‍යත්මක යෙදුම් මනා කොට පිරිද්දුමකි.

ඇගේ කවිය ස්ත්‍රී පැවත්ම විනිවිදින්නට තැත් කෙරුමකි. තාක්ෂණ ලෝකයේ අපුල මැද ජීවිතය සොයන්නට දරන තැතකි. ඇගේ එළඹුම අපූරුය. ඩ්ජිටල් ලෝකය මැද ඇගේ පරිකල්පනීය කලාපයෙන් හමුවන අමුතු දැරිය ගැන නුදුරේම සමාජයට කතා කරන්නට සිදුවනු ඇත. ඒ තරමටම හෙම්බත් මිනිස් අහිනක් එකිනෙකාට සම්මුඛ වන දිනක් ගැන අපට සිතන්නට වනු නොඅනුමානය.
ඩිජිටල් යුගයේ ගොදුරක් නොවී පොතක් කියවන දැරිය.

ආදි කල්පිත ජාන හිමි
අප පවා ගොදුරු වූ කල
ඩිජිටල් උවදුරට
කුමන පුදුමයක්ද මෙය?
කාළ තරණය කළ කෙනෙක්ද ඇය?

ඇගේ කවිය පවසන දෑට වඩා පාඨක හදවත් සක්‍රීය කරන්නට පොහොසත් ගොඩනැංවීමක් බවට පත්වන අවස්ථා හමුවෙයි. මේ ව්‍යංගාර්ථවත් බස හරහා ඇය ගෙනෙන අපේක්ෂාව මියුරුය.

පොරොන්දු වූ පරිදි ඉර
නොපායා සිටින විටත්
අත්ලෙන් අත්ල පිරිමැද
උණුසුම් කළ හැකිය අපට
සහෝදරත්වයෙන් එකිනෙකාගේ
සීතලෙන් මිදුනු හදවත්.

අපේක්ෂා විරහිතම මොහොතක වුව නව්‍ය අපේක්ෂා දල්වන්නට නිර්මාණකාරියක සමත්‍ ය. අඳුරුතම හෝරාවෙහි වැලපෙනු වෙනුවට ඇය සාමූහික ශක්තිය කෙරේ විශ්වාසය තබයි.

ඇගේ කවි අතර කැපී පෙනෙන නිර්මාණයකි නිරායුධ සෙබළුන් නම් කවිය. එය මතුපිට අරුතින් මෙන්ම යටි අරුතින්ද ගැඹුරින් විඳින්නට හැකි කවකි.

කුඩා ගැඩවිල් පණුවන
තනි තනිව ඇතුලතින්
යුද වැදුණ නිරායුධ
සෙබළුය ඔබ සැම
මුවහත් නඟුල් තල ගෙන
දස දෙසින් ඇදී අවුදින්
අප පෙරලන්නට පෙර
මේ ඉපැරණි තදැති පස

වර්තමාන වේගී සමාජයේ මහා ප්‍රවාහයට හසුව ගසාගෙන යන මිනිසාට ඉවසිල්ලෙන් ආපසු හැරී බලන්නට මොහොතක් අවශ්‍ය ය. ඒ මොහොත උදාකරගන්නට මිනිසාගේ අසමත්කම විසින් ඇතිකරන ලද පරිහාණිය අතිශය දරුණුය. චේත්‍යාගේ පමා වූ මිනිසුන්‍ ය අප නම් කවිය ඔබට මගහැරී නොයා යුතුය.

කවියකු සතු සියුම් සංවේදනයන් දැනවීමේ ශක්තියෙන් චේත්‍යාගේ කවි හැඩවී තිබේ. ඒ කවි දයාවෙන් පිරී, භාවමය ලෝකය අවුස්සාලයි. අම්මා කෙනෙකි කොළඹ බසයක නම් කවිය මෙය තේරුම් ගන්නට කවුළුවක් විවරකර දෙයි.
චේත්‍යා සිය පළමු කවි පොතේ සිට දෙවැන්නට සිවු වසරක් කල් බලයි. එහෙත් ඒ අපතේ නොගිය කාලයකි.

චූලානන්ද සමරනායක