අනුරාධපුර පූජා භූමිය වෙනුවෙන් ජනාධිපති උපදේශක සභාවක් – සම සභාපතිවරු පත්කරති !

17
(අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු පිළිබඳ සැලැස්ම ගැන සාකච්ඡා කිරීමට සහ නිරීක්ෂණයට ජනාධිපති අනුර දිසානායක එක්වූ අවස්ථාව - ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය)

අනුරාධපුර පූජා භූමිය තුළ සංරක්ෂණ සහ සංවර්ධන වැඩසටහන් සිදුකිරීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමට සහ එම කටයුතු සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති උපදේශක සභාවක් ස්ථාපිත කර තිබේ.

මේ උපදේශක සභාවේ සම සභාපතිවරුන් ලෙස අටමස්ථානාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර ඇත. සභාවේ සෙසු සාමාජික සංඛ්‍යාව 32ක් වන අතර, ඊට අනුරාධපුර පූජා භූමියේ විහාරස්ථාන විහාරාධිපතිවරුන්, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති, දිස්ත්‍රික් ලේකම් ඇතුළු අදාළ සියලු ආයතනවල ප්‍රධානීන් හෝ නියෝජිතයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළත් වේ.

අනුරාධපුර පූජා භූමිය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත සහ දැනට ක්‍රියාත්මක වන සංරක්ෂණ, කළමනාකරණ, සැලසුම්කරණ සහ සංවර්ධන වැඩසටහන් සඳහා ඒකාබද්ධ මගපෙන්වීම, ආයතන සම්බන්ධීකරණය, ප්‍රමුඛතා තීරණය කිරීම සහ ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම මේ උපදේශක සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ ය. එසේම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය, ඉඩම් පරිහරණය, නිවාස සහ සමාජ අවශ්‍යතා පිළිබඳ ගැටලු සලකාබැලීම සහ ඒවාට මැදිහත්වීම ද මෙහි කාර්යයකි.

අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 400ක දැවැන්ත මුදලක් (රුපියල් මිලියන 4,079ක්) යෙදවීමට රජය අපේක්ෂා කරයි. පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විවිධ සැලසුම් සකස් කළද, මුදල් වෙන්කිරීම ප්‍රමාද වීම නිසා එම සැලසුම් ක්‍රියාත්මක නොවීය. වර්තමාන රජය මගින් තීරණාත්මක ව්‍යාපෘති 26ක් සඳහා මේ මුදල් වෙන්කර ඇත. 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ 1981 සැප්තැම්බර් 18 දිනැති අංක 159 ගැසට් පත්‍රයමගින් අනුරාධපුර පූජා භූමි ප්‍රදේශය ප්‍රකාශයට පත්කර ඇත. අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 16ක වර්ග කිලෝමීටර් 28 සිට 32 දක්වා භූමි ප්‍රදේශයක් මෙසේ සංවර්ධනය කිරීමට අදාළ ව්‍යාපෘති පිළිබඳව 2026 පෙබරවාරි 27 දිනැති අංක 2477/44 දරන ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

බැතිමතුන්ගේ සනීපාරක්ෂාව සහ සංචාරකයන්ට පහසුකම් සැලසීම මූලික කරගෙන, ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මේ සැලැස්ම මගින් පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය, පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේක්ෂිත ය. ප්‍රවේශ මාර්ග, වාහල්කඩ සහ භූදර්ශන, පූජනීය සහ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය, පොදු පහසුකම්, සනීපාරක්ෂක මධ්‍යස්ථාන සහ රථගාල, පරිසර, පොකුණු සහ උරුමයන් සුරැකීම, ප්‍රවාහන, සංචාරක සහ නවීන තාක්ෂණික ව්‍යාපෘති යන ක්ෂේත්‍ර ආවරණය කිරීමට නියමිත ය.