අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ නියමු කාර්යභාරයක් ඉටු කළ සංවිධානයක් තමයි ජාතික විද්වත් සංවිධානය.ජාතික ජන බලවේගය කියන මේ දැවැන්ත දේශපාලන ව්යාපාරය ගොඩනැගීමේ ආරම්භක අත්තිවාරම දැමුවේ ජාතික විද්වත් සංවිධානයයි. එම සංවිධානයේ සිදු වූ ප්රසාරණයත්, වර්ධනයත්, විවිධ ක්ෂේත්රවල විද්වතුන් සහ වෘත්තිකයන් එකට එක් කරගනිමින් ගොඩනැගුණු ඒ ශක්තියත් තමයි, අද අපි දකින ජාතික ජන බලවේගය ගොඩනැගීමට අවශ්ය පදනම සකස් කළේ.
ඒ විතරක් නොවෙයි. අපි බලය ලබා ගැනීමට පෙර, බලය ලබා ගැනීම සඳහා ගත යුතු මාර්ගය පිළිබඳව සංවාද ගොඩනැගීමේදීත්, බලය ලබා ගැනීමෙන් පසු රට පාලනය කරන්නේ කෙසේද, අපේ ක්රියාමාර්ග මොනවාද, රටේ අනාගතය සඳහා අවශ්ය ප්රතිපත්ති සහ දැක්ම කුමක්ද යන්න නිර්මාණය කිරීමේදීත්, ජාතික විද්වත් සංවිධානය ඉතාමත් වැදගත් සහ ප්රධාන කාර්යභාරයක් ඉටු කළා.අද අපි ක්රියාවට නංවමින් සිටින ප්රතිපත්ති වගේම, ඉදිරියේදී ක්රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්රතිපත්ති සහ වැඩපිළිවෙළවල බොහෝ අදහස්, සංවාද සහ නිර්මාණශීලී මැදිහත්වීම් පිටුපස සිටින්නේ ජාතික විද්වත් සංවිධානයයි.ඒ නිසා, ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්යාපාරයේ ගමන ගැන කතා කරන විට, එහි ප්රතිපත්තිමය පදනම ගොඩනැගූ, දැක්ම සකස් කළ සහ එම ගමනට බුද්ධිමය ශක්තිය සැපයූ ජාතික විද්වත් සංවිධානයේ කාර්යභාරය කිසිසේත්ම අමතක කළ නොහැකියි.
අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරමින් සිටි කාලයේත්, ඒ දේශපාලන ගමන වඩා පුළුල් කරමින් ජාතික ජන බලවේගය ලෙස පරිවර්තනය වන අවස්ථාවේත්, අපි ඉදිරියේ එක් ප්රධාන අභියෝගයක් තිබුණා.අපි දේශපාලන ව්යාපාරයක් ලෙස යම් සමාජ තීරුවක් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබුණා. අපි ඒ සමාජ තීරුවට සමීපයි. අපි ඔවුන් ආමන්ත්රණය කරනවා. ඔවුන් අප සමඟ අදහස් හුවමාරු කරගන්නවා. අපි අතර සංවාදයක් තිබුණා. නමුත්, ඒ සමාජ තීරුවෙන් එහාට ගිය විට, අපට තව සමාජ තීරු තිබුණා. අපෙන් ටිකක් ඈතින් සිටි, අප සමඟ සංවාදයට පැමිණීමට අවකාශයක් නොතිබුණු, අපිත් ඔවුන් සමඟ සෘජුව කතාබහ කර නොතිබුණු සමාජ තීරු තිබුණා.අභියෝගය තිබුණේ එතැනයි.
අපි සහ ඔවුන් අතර සංවාදයක් විවෘත කරගන්නේ කොහොමද? ඔවුන්ගේ අදහස්, අපේක්ෂාවන් සහ ප්රශ්න අපේ දේශපාලන සංවාදයට එක් කරගන්නේ කොහොමද? ඒ වගේම අපේ දේශපාලන දැක්ම ඔවුන් වෙත ගෙන යන්නේ කොහොමද?අපි සහ ඒ සමාජ තීරු අතර සංවාදයට දොරටු විවෘත කර ගන්නේ කොහොමද කියන අභියෝගය අප ඉදිරියේ තිබුණා. වෙනත් පාර්ශ්වයන්ගෙන් ආ අදහස්වලින් ඒ සමාජ තීරුව සමන්විත වී තිබුණා. සෑම සමාජ තීරුවක්ම විනිවිදයාමේ හැකියාව සහිත ව්යාපාරයකට පමණයි බලය අත්පත් කර ගැනීමට හැකියාව තිබෙන්නේ.
අපිට අතහැරී තිබූ එම සමාජ තීරුව සමීප කරගැනීමේදීත්, අප කෙරෙහි ඔවුන් තුළ තිබු සැකය සහ අවිශ්වාසය තුරන් කිරීමේදීත් සුවිශේෂම කාර්යභාරයක් ජාතික විද්වත් සංවිධානය විසින් ඉටුකරනු ලැබුවා. ඒ නිසා 2024 ආණ්ඩු පෙරළියේදී නියමු කාර්යභාරයක් ඔබ විසින් ඉටු කරනු ලැබුවා. ඒ පිළිබඳව ඔබට බෙහෙවින් ස්තූතිවන්තවීමක් වගේම ඇගයීමක් අපිට තිබෙනවා.
බලය ලබා ගැනීමෙන් පසුව අපිට අවශ්ය වන සමාජ පරිවර්තනයක් තිබෙනවා. එම සමාජ පරිවර්තනය සඳහා ක්රියාකාරිත්වය, කැපකිරීම්, මතවාදී දැක්මක් අවශ්ය වෙනවා. බලය ලබාගත් පමණින්ම මෙම පරිවර්තනය ඇති වන්නේ නැහැ. ඒ සඳහා දැක්ම ඇති මිනිසුන් අවශ්ය වෙනවා. ඒ වගේම එම පරිවර්තනය අත්පත් කර ගැනීම සඳහා අවශ්ය කරන කැපකිරීම්, මැදිහත්වීම් සිදු කළ යුතුයි. ඒ සඳහා වූ යාන්ත්රණයේ නියමුවන් සහ මග පෙන්වනන් බවට පත්විය යුතුයි. එසේ නොමැතිව හුදු දේශපාලන බලය හුවමාරුවකින් පමණක් පරිවර්තනය අත්පත් කර ගන්න බැහැ. ඒ සඳහා මෙහෙයුම් නායකත්වයන් තුළ පරිවර්තනයක්, දැක්මක් සහ මැදිහත්වීමක් අවශ්යයි. අත්හරින්නේ නැතිව වැඩ කළයුතුයි යන උනන්දුව තිබිය යුතුයි. අද ජාතික ජනබලවේගය ආණ්ඩුවටඒ උනන්දුව, ඒ කැපවීම සහ ඒ පරිවර්තනීය ශක්තියගෙනවිත් තිබෙන්නේ ජාතික විද්වත් සංවිධානය නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් බව මම විශ්වාස කරනවා.
ගතවූ වසර දෙක තුළ අපි යම් පරිවර්තනයන් අත්පත් කරගෙන තිබෙනවා. පරිවර්තනයන්ට වඩා තිබෙන තත්ත්වයන් අපි ඉතා සුබවාදී සහ ප්රගතිගාමී ලෙස ඉදිරියට ගොස් තිබෙනවා. පරිවර්තනය ඊට වඩා දිගු පියවරක්. එම පරිවර්තනය අපිට අවශ්යයි. එහිදී ආර්ථික පරිවර්තන ඉතා වැදගත් වෙනවා. අපේ රටේ ස්වෛරි ආර්ථිකයක් අවශ්යයි. අපි අත්පත් කර ගන්නා ආර්ථික ජයග්රහණ සාධාරණ ලෙස පහළට ගලා යා යුතුයි. ග්රාමීය, නාගරික භේදයකින් තොරව ආර්ථිකයට ජනතාව සම්බන්ධවිය යුතුයි. එසේ නොමැතිව නිෂ්පාදන, ආර්ථික ඒකකවල වර්ධනය ආර්ථික පරිවර්තනයක් නොවෙයි. ආර්ථික පරිවර්තනයක් සිදුවන්නේ, අපේ ආර්ථිකය ස්වාධීන, ස්වෛරී ආර්ථිකයක් බවට පත්වීමෙනුයි. ආර්ථිකය අත්පත් කර ගන්නා ජයග්රහණ පහළ තීරු දක්වාම සාධාරණවම බෙදීයාම ආර්ථික පරිවර්තනයයි. ආර්ථිකයට ජනතාව සාධාරණ ලෙස සම්බන්ධවීම ආර්ථික පරිවර්තනයක්. අපි තවම ආර්ථික පරිවර්තනය අත්පත් කරගැනීම සඳහා අවශ්ය වන නිර්ණායකවලට ළඟා වී නැහැ. ආර්ථික ගොඩනැංවීමකින් තොරව එම පරිවර්තනය අත්පත් කරගන්න බැහැ.
ඒ නිසා අපේ පළමු වසර දෙක තුළ අභියෝගය බවට පත්වුණේ ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්ය වන ආර්ථික සාධක ගොඩනැංවීමයි. පසුගිය වසර දෙක අපි සංසන්දනය කර බැලුවොත් අපි සැලකිය යුතු ලෙස ආර්ථික පරිවර්තනයක් කරා යාමට අවශ්ය පදනම සකස් කර තිබෙනවා. මෑතකාලයේ ලංකාවේ අඩුම අයවැය හිඟය 2025 වසරේ වාර්තා කර තිබෙනවා. එය ආර්ථිකයේ වර්ධනයක්. ඒ වගේම ජංගම ගිණුමේ ලංකා ඉතිහාසයේ වැඩිම ධන ශේෂය අපි වාර්තා කර තිබෙනවා. දීර්ඝ කාලයක් පුරා අපේ ප්රාථමික ගිණුමේ ශේෂය තිබුණේ සෘණ අගයක්.
ජාත්යන්තර මූල්ය අරමුදල විසින් අපිට ඉලක්කයන් සකස් කර දී තිබුණා, ඒ වගේම අපේ මූල්ය කළමනාකරණ පනත තුළත් එය නීතියක් බවට පත්ව තිබෙනවා. අපේ ප්රාථමික ගිණුමේ ධන ශේෂය 2.3%ක් ලෙස අපි පාලනය කරගත යුතුයි. ඒ තුළින් තමයි අපේ ණය ප්රතිශතය ක්රමානුකූලව අඩු කළ හැකි වන්නේ. ප්රාථමික ශේෂය සෘණ නම්, ණය ශේෂය සහ ණය ප්රතිශතයක් ලෙස ඉහළ යනවා. 2022 අපේ ණය ප්රමාණය 114%ක ප්රතිශතයක් ගත්තා. මෙම ප්රමාණය අපි 90% – 95%ත් අතර ප්රමාණයකට අඩු කළයුතුයි. ඒ සඳහා අපි ප්රාථමික ගිණුමේ ශක්තිමත් ධන ශේෂයක් තබා ගත යුතුයි. ඒ නිසා මූල්ය කළමනාකරණ පනත තුළ එය නීතිමය බැඳීමක් බවට පත්ව තිබුණා. 2025 වසරේ අපේ ප්රාථමික ගිණුමේ ධන ශේෂය 5.4%යි. ලංකා ඉතිහාසයේ වැඩිම ප්රාථමික ගිණුමේ ශේෂය අපි වාර්තා කළා. එය අපේ ණයබර අඩු කිරීමට ඉවහල් වෙනවා.
ඒ වගේම දීර්ඝකාලයක් පුරා අපේ අයවැය ලේඛන තුළ සකස් කරන ලද රාජ්ය ආදායමට ළඟා වීමට අපිට නොහැකි වුණා. ඒ නිසා අපේ අයවැය ලේඛනය හුදු කාර්යපටිපාටියක් සඳහා පමණක් ඉදිරිපත් කරන ලේඛන බවට පත්ව තිබුණා. එහෙත් 2025 වසරේ ආදායම 110%ක් බවට පත් වුණා. ඒ අනුව අපේක්ෂා කරන ලද ආදායම ඉක්මවා ගියා. එතකොට කට්ටිය අහනවා බදු ගහල ආදායම් උපයන්න බැරිදි කියලා. අපි ඔවුන්ට කියන්න කැමතියි, අපි බලය අරගෙන අලුතින් කිසිදු බද්දක් ගැහුවේ නැහැ. ගහල තිබුණු බදු සැලකිය යුතු ප්රමාණයකින් අඩු කළා. එළැඹෙන අයවැය ලේඛනයේදී අපේ ආදායම් ඉලක්කයන්ට තර්ජනයක් එල්ල නොවන විදියට යම් බදු ප්රමාණයක් අඩු කරනවා. මේ අයුරින් අපි ආර්ථිකයේ සැම ක්ෂේත්රයකම වර්ධනයන් අත්පත් කරගෙන තිබෙනවා.
මේ අවස්ථාවේ උද්ධමනයට යම් බලපෑමක් ඇති වී තිබෙනවා. උද්ධමනය 8%කට ටිකක් ඉහළ ප්රමාණයකට සැප්තැම්බර් මාසයේදී පැමිණ තිබෙනවා. ඒ නිසා ජනතාවට යම් භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේදී දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව තිබෙනවා. එයට ප්රධාන ලෙසම බලපා තිබෙන්නේ මැදපෙරදිග ඇතිවන යුදමය තත්ත්වයයි. එම යුදමය තත්ත්වය අපේ සැපයුම් මාර්ගවලට විශාල බලපෑමක් ඇති කළා.
උදාහරණයක් ලෙස ගත්තොත්, අපි ගෑස් ආනයනය කළේ මැදපෙරදිග කලාපයෙන්. රාජ්ය ගෑස් සමාගමේ 2026 වසරේ ටෙන්ඩරය අපි අඩුම අගයකට ලබා දුන්නා. වාසනාවකට එම ටෙන්ඩරය ගියේ මැදපෙරදිග කලාපයේ සමාගමකට නොවෙයි. ඒ නිසා මැදපෙරදිග කලාපයේ යුද්ධය ගෑස් සැපයුම සඳහා බලපෑමක් ඇති කළේ නැහැ. හැබැයි ගෑස් ගෙන ඒමේ සැපයුම් මාර්ග අඩාලවීම හේතුකොටගෙන නැව් ගාස්තු ඉහළ යාම, රක්ෂණ ගාස්තු ඉහළ යාම, කාලය දීර්ඝවීම ආදී හේතු විසින් අපේ ආර්ථිකයට බලපෑමක් ඇති කරනු ලැබ තිබෙනවා.
කොන්ත්රාත්කරුවන්ට අවශ්ය තාර වගේ දේවල් සැලකිය යුතු ප්රමාණයකින් රඳා පවතින්නේ මැදපෙරදිග කලාපයේ. අපේ පරිසරයට,දේශගුණයට ගැළපෙන්නේ මැදපෙරදිග කලාපයේ තාර බව පරීක්ෂණවලින් අපි තහවුරු කරගෙන තිබෙනවා. නමුත් ඒ කලාපයේ ඇතිවන යුදමය තත්ත්වය හේතුකොටගෙන තාර අඛණ්ඩව සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා සැපයුම් මාර්ග අවහිරවීම ආර්ථිකයට බලපෑමක් ඇති කර තිබෙනවා.
මෙහි ප්රධානම බලපෑම එල්ල වී තිබෙන්නේ ඛනිජ තෙල් ඉල්ලුමටයි. අඛණ්ඩව බලශක්තිය සපයා ගැනීම සහ සාධාරණ මිලකට බලශක්තිය ලබා දීම යන කරුණු දෙකමතිබෙනවා. කුමන දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද අපි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කර තිබෙනවා. හැබැයි මිල යම් ප්රමාණයකට ඉහළ යමින් තිබෙනවා. අපේ ඉන්ධන සැපයුමෙන් 30%-35% අතර ප්රමාණයක් සපයන්නේ බොරතෙල් ගෙනවිත් පිරිපහදු කරලයි. 65%-70% අතර ප්රමාණයක් සපයා ගන්නේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයනය කරලයි. හැබැයි ලෝකයේ වැඩිපුර සාකච්ඡාවට ලක් වන්නේ මේ බොරතෙල් මිල ඉහළ යාමයි.
යුද්ධයට පෙර පසුගිය පෙබරවාරි මාසයේ පිරිපහදු කරන ලද ඩීසල් බැරල් එකක් තිබුණේ ඩොලර් 88ට. අද බැරල් එකක් ඩොලර් 167යි. ලෝක වෙළෙඳපොළේ ඩීසල්වල මිල 88%කින් ඉහළ ගොස් තිබෙනවා. යුද්ධයට පෙර පෙට්රල් බැරල් එකක් තිබුණේ ඩොලර් 75ට. අද ඩොලර් 110යි. ලෝක වෙළෙඳපොළේ පෙට්රල් මිල 80%කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් 69ට තිබූ බොරතෙල් බැරල් එකක් ඩොලර් 110ක් බවට පත්ව තිබෙන අතර, 59%කින් ඉහළ ගොස් තිබෙනවා. හැබැයි අපි බොරතෙල් ආනයනය කරන්නේ අපේ අවශ්යතාවයෙන් 1/3ක් වගේ ප්රමාණයක්. 2/3ක්ම ආනයනය කරන්නේ ඩීසල් සහ පෙට්රල්.
අපිට තිබූ අභියෝගය වන්නේ මේ මුළු ඉහළයාමේ බර ජනතාවට දුන්නොත්, රටේ ආර්ථිකය සංකෝචනය වීමට පටන් ගන්නවා. අපි මේ වසරේ පළමු කාර්තුවේ දිට්වාවලින් පසුවත්, 5%ක් ඉක්මවන ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත්තා. දෙවන කාර්තුවේදී මැදපෙරදිග යුද්ධය නිසා විශාල බලපෑමක් එල්ල වුණා. ලෝක වෙළෙඳපොළ තුළ මිල ඉහළ යාම සමානුපාතිකවම ජනතාව මත එම බර පටවනවානම්, අපිට මේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනිමට බැරි වෙනවා. ඒ නිසා අඛණ්ඩව බලශක්ති සැපයුම් තහවුරු කිරීමටත්, ලෝක වෙළෙඳපොළ තුළ මිල ඉහළයාමට සාපේක්ෂව මිල ඉහළ දාන්නේ නැතිව ඉන්නත් අපි ආණ්ඩුවක් ලෙස තීරණයක් ගත්තා.
ඒ අනුව, අපි අප්රේල්වලින් ආරම්භ වු මුල් මාස 05 සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්රල් ලීටරයකට රුපියල් 20ක් බැගින් ලබා දුන්නා. ඒ සදහා අපි රුපියල් මිලියන 60,000ක වැය බරක් දැරුවා. නැවත අගෝස්තු මාසයේ යම් ප්රමාණයකට යුදමය තත්ත්වය අඩු වුණා. එහෙත් නැවත වර්ධනය වීමට පටන් ගත්තා. දැන් මේ ඔක්තෝබර් මාසයේදීත් අපි ඩීසල් සඳහා රුපියල් 70ක සහනධාරයක් ලබා දෙනවා. අත්පත් කරගත් මේ ආර්ථික වර්ධනය කඩාවැටෙන්නේ නැතිව පවත්වාගෙන යාමට අපිට අවශ්යයි. ඒ වගේම භාණ්ඩාගාරයෙන් මුදල් වැය කිරීමේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව තුළ සිට ආර්ථිකයට සිදුවන බලපෑම් අඩු කරමින් තමයි අපි වැඩ කරමින් සිටින්නේ. ඒ අනුව, ඉන්ධනවලින් අපේ ආර්ථික වර්ධනයට වන බලපෑම අවම කර ගැනීමට අපි සමත් වුණා. එහෙත් ඉන්ධන මිල ඉහළයාම හේතුකොට ගෙන අපේ ජන ජීවිතයට යම් බලපෑමක් ඇති වී තිබෙන බව අපි දන්නවා. අනෙක් ක්ෂේත්රවලින් එම බලපෑම තුලනය කිරීම සඳහා අවශ්ය වන තීන්දු කිහිපයක් මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආර්ථික පරිවර්තනය සඳහා අපිට අලුත් යෝජනා අවශ්ය වී තිබෙනවා. අපි අපේ ජාතික නිෂ්පාදන වැඩි කිරීම සඳහා විභවතාවක් තිබෙන්නේ කුමන ක්ෂේත්රවලද.
එහිදී ධීවර කර්මාන්තය ප්රධාන වෙනවා. දශකයක පමණ කාලයක් තිස්සේ මෙට්රික් ටොන් ලක්ෂ 4 සීමාවේ පවතින මත්ස්ය අස්වැන්න ඉහළ නැංවීමට විශාල හා මධ්ය පරිමාණ නැව් ලබාදෙමින් ධීවර කර්මාන්තය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. හුදු යැපුම් ආර්ථිකයක පවතින ධීවර ක්ෂේත්රය කර්මාන්ත ආර්ථිකයක් බවට පත්කරගත යුතුයි. එය අපේ නිෂ්පාදන සැලසුමක් බවට පත්ව තිබෙනවා.
මෙරට ශ්රම බලකායෙන් 23%-24%ක් කෘෂිකර්මාන්තයේ යෙදුණද, ජාතික නිෂ්පාදනයට ලැබෙන දායකත්වය 7%යි. ගොවි ජනතාව ගැටගසා ඇති පැරණි ඉඩම් හා කුඹුරු පනත් නීතිවලින් නිදහස් කර, කෘෂිකාර්මික ශ්රමය ඵලදායී ශ්රමයක් බවට පත් කළ යුතුයි.
අපගේ ආර්ථික ස්වාධීනත්වයේ පදනම වන සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්ය තාක්ෂණය, වෙළඳපොළ සහ ප්රාග්ධනය ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඇප රහිත, පොලී රහිත සහ අඩු පොලී ණය ලබාදීමට මෙවර බිලියන 100ක (රු. කෝටි 10,000ක) මුදලක් වෙන් කර තිබෙනවා.
අපේ කාර්මික ආයතනවලට අවශ්ය වෙන තාක්ෂණය ලබා දෙන්න ඕනෑ. අපි තානාපති කාර්යාල සහ ජාතික වෙළඳපොළේ පංගුව නිර්මාණය කරලා දෙන්න ඕනෑ. ඒක තමයි අපේ ආර්ථිකයේ පරිවර්තනය. අර මා කලින් කියපු දත්ත කියන්නේ ආර්ථිකය ඉහළ නැංවීමයි. මේ කියන සාධක තමයි අපිට ආර්ථික පරිවර්තනයක් ගොඩනගන්න තියෙන්නේ.
ඊළඟට විශේෂම දේ ගත්තොත් අපේ රටේ පිහිටීම මත අපේ නාවික කර්මාන්තය තුළලොකු පියවරක් ඉදිරියට යන්න පුළුවන්. එහෙත් පැරණි, ගතානුගතික සමහර නීති සහ සමහර සීමාවන් විසින් අපේ වරායන්ට වර්ධනය වීමට සීමා පනවා තිබෙනවා. අපේ වරායන්, වරාය කේන්ද්රයක් හැටියට වර්ධනය වීම සඳහා සීමාවන් පනවා තිබෙනවා. ඒවා එක යුගයකදී හරි. හැබැයි වර්තමාන යුගයකදී ඒක හරිම නොවෙයි. එසේනම්, අපි පැරණි වරාය සංවර්ධනය දෙස බලපු කෝණයෙන් එළියට එන්න ඕනෑ. නව ලෝකයේ ඇතිවී තිබෙන වරාය තුළ තරගකාරිත්වය, ඒකට අවශ්ය යටිතල පහසුකම්, කළමනාකරණය, කාර්යක්ෂමතාවය සහ ප්රචාරණය නැත්නම් අපිට වරාය දියුණු කරන්න බැහැ.
අපේ තිබෙන නීති සහ බැඳීම් නිසා සමහර පරිවර්තනයන් අපිට අත්පත් කරගන්න බැහැ. අපිට වාර්ෂික කන්ටේනර් ප්රමාණය වැඩි කරගන්න පුළුවන්.හැබැයි වරාය ක්ෂේත්රය පරිවර්තනයකට පත් කරගන්න නම් අපි අලුත් විදිහට මේ වරායේ සංවර්ධනය දෙස බලන්න ඕනෑකම තිබෙනවා. ඒ සඳහා අවශ්ය වන නීතිමය සහ යටිතල පහසුකම් කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා.
ඊළඟ වැදගත්ම දේ තමයි, අපේ ගුවන්තොටුපොළ.විශේෂයෙන්ම අපේ පර්යන්ත තිබෙන්නේ මිලියන හයක් පමණ මගීන්ට පහසුකම් සැලසීම සඳහායි. හැබැයි මිලියන හයට සකස් කරලා තිබෙන පර්යන්තයෙන් අපි අදත් මගීන් මිලියන 10ක් හුවමාරු කරනවා. ප්රශස්ත මට්ටමේ සේවාවක් අපිට ලබා දෙන්න බැහැ.
අපි සංචාරක කර්මාන්තයේ විශාල පිම්මක් ගැන අපේක්ෂා කරනවා. ඒ පිම්ම ලබාගන්න නම් අපි අපේ රටේ ගුවන්තොටුපොළ ආශ්රිතව විශාල පරිවර්තනයක් කරන්න ඕනෑ. අපි දැනට තිබෙන මිලියන හයක ධාරිතාවක් තිබෙන පර්යන්තය, මිලියන නවයක ධාරිතාව දක්වා වර්ධනය කරන්න ව්යාපෘතිය පටන් ගත්තා.
ඒ වගේම පමා වෙලා තිබෙන, විවිධ ගැටලුවල හිරවෙලා තිබෙන, දෙවෙනි පර්යන්තය අපි කොහොමහරි මේ අවුරුද්දේ ආරම්භ කරනවා.ඒ අනුව තවත් මිලියන පහක ධාරිතාවක් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ධාරිතාව මිලියන 15 දක්වා වැඩි කරගන්න පුළුවන් වේවි. එහෙම වුණොත් අපිට ඊට පස්සේ මේක හොඳ භාණ්ඩ ප්රවාහන මධ්යස්ථානයක් බවට වර්ධනය කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒ සඳහා අපි නව ඉඩම් අත්පත් කරගනිමින්, භාණ්ඩ ප්රවාහනය සඳහා අලුත් පර්යන්තයක් ඉදි කරනවා. ඒවා තමයි අපේ ආර්ථික පරිවර්තනයන්.
අපිට අවශ්යව තිබෙන්නේ, තිබෙන දේ ටික ටික වැඩි කිරීම නෙවෙයි.අපිට අවශ්යයි, අපේ රටේ ආර්ථිකයේ විශාල පරිවර්තනීය යුගයක්. ඒ පරිවර්තන යුගය වෙනුවෙන් තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව හැදුවේ. ඒ පරිවර්තන යුගය වෙනුවෙන් තමයි, අපි ඔබ හැමදෙනාම එකට එක්සත්ව වැඩ කළ යුතු වන්නේ. ඒ සම්බන්ධයෙන් අවශ්ය වන නීති වෙනස් කිරීමට, යටිතල පහසුකම් සකස් කිරීමට සහ සේවාවන්ගේ විශාල කාර්යක්ෂමතාවක් අත්පත් කරගැනීමට කටයුතු කළ යුතුයි.
අපිව බලයට ගෙනාවේ මොකටද? මේ සමාජ පරිවර්තනය අවශ්ය නිසයි. මේ සමාජය බිඳවැටුණු, අනාරක්ෂිත, අවිශ්වාසී සහ අස්ථාවර වුණු සමාජයක්. ඒ නිසා අපේ අභියෝගය මොකක්ද? මේ සමාජය අපි කොහොමද අලුත් පරිවර්තන යුගයකට ගෙනියන්නේ. මොකක්ද සමාජ පරිවර්තනය වෙනවා කියලා කියන්නේ.හැම කෙනාටම නීතිය ඉදිරියේ තමන්ට සාධාරණය ඉටු වෙනවාය කියන මතය ගොඩනැගෙන්න ඕනෑ. තමන් වරදක් කළොත් දඬුවමක් ලැබෙනවා.තමන් නිවැරදි නම් නිදහස් වෙනවා.නිවැරදි නම් ඒ ක්රියාවලියට ගොදුරු වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන්න ඕනෑ. එතකොට තමයි සමාජයේ ස්ථාවරභාවය නිර්මාණය කරන්නේ. සමාජයේ ස්ථාවරභාවය රඳා පවතින්නේ හුදු අණපනත්වලින් විතරක් නෙමෙයි.ආණ්ඩුක්රම ව්යවස්ථාව ඇතුළේ සෑම දෙනාම සමානයි කියන එක මතයි. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාව ඇතුළේ ශක්තිමත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් හදලා තිබුණත්, ප්රායෝගික සමාජය යහපත් එකක් වුණේ නැහැ.
සමාජ පරිවර්තනය අත්පත් කරගන්න නම් ක්ෂේත්ර ගණනාවක වැඩ කරන්න ඕනෑ.පළමු ක්ෂේත්රය තමයි නීතියේ විධානයේ ආධිපත්යය තහවුරු කිරීම සහ නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි කියන සංකල්පයට පණ පෙවීම. නීතිය අසමානව ක්රියාත්මක වන බව, පුද්ගලයන් හෝ ක්ෂේත්ර තෝරාගෙන ක්රියාත්මක වන බව දැනෙනවා නම්, එවැනි සමාජයක් ස්ථාවර හෝ යහපත් සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අවුරුදු දෙක ඇතුළෙ මුළුමනින්ම පොරබදන්නේ කාලාන්තරයක් තිස්සේ පලුදු වී තිබූ නීතියේ විධානයේ ආධිපත්යය පිළිබඳ විශ්වාසය යළි තහවුරු කිරීමටයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කාර්යය ඒකයි.
තමන් අදහන ආගම, සංස්කෘතිය හෝ භාෂාව අනුව තමන්ට කොන් වෙන හැඟීමක් ඇති වෙනවා නම්, ඒ සමාජය හැමවෙලාවෙම අස්ථාවරයි. ස්ථාවර සමාජයක තමන්ගේ සංස්කෘතිය, ආගමික විශ්වාසයන්, භාෂාවන් ආදියේ භේදයකින් තොරව හැම කෙනාටම රට තුළ සමාන අයිතිවාසිකම් තියෙනවා කියන තේමා පාඨයට පණ පෙවිය යුතුයි. අපි ඒකට පණ පොවනවා. පැරණි ආකල්පවල ඉන්න අයට මේ නව සුභවාදී සමාජ පරිවර්තනය ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් සමාජ පරිවර්තනයක් වෙන්නේ එහෙමයි.තමන්ගේ ස්ත්රී-පුරුෂභාවය මත අඩන්තේට්ටම්වලට ලක් නොවී සමාජයේ හැම දෙනාටම සමානව සැලකෙන මනෝභාවයක් නිර්මාණය කිරීම අපේ අභියෝගයයි.
අපේ සමාජය පුරා පැතිරී තිබෙන අල්ලස සහ දූෂණය සමාජය බිඳවට්ටනවා.අල්ලස සහ දූෂණය කියන්නේ ආර්ථික හානියක් විතරක් නෙමෙයි.අල්ලස සහ දූෂණය විසින් සමාජයක් බිඳවට්ටනවා.නීති රෙගුලාසි සහ ආයතන අහෝසි කරනවා. රේගු අධිකාරිය, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුව අල්ලසට යට වෙනවා නම් නීති රෙගුලාසිවලින් වැඩක් නැහැ. වංචා දූෂණවලට එරෙහි සටන තියෙන්නේ ආර්ථිකයට වන හානිය පිළිබඳ විතරක් නෙමෙයි,යහපත් සමාජයක් ගොඩනැගීම සඳහායි අපි එම සටන ආරම්භ කර තිබෙන්නේ.
සෑම පුරවැසියෙකුටම තමන්ගේ තනතුර හෝ තානාන්තර භේදයකින් තොරව ආයතන වෙත ගිහිල්ලා වැඩ කරගන්න හැකියාව තියෙන්න ඕනෑ.අපේ සමාජ පරිවර්තනය සඳහා අවශ්ය වැදගත් සාධකයක් තමයි පාතාලය සහ ඒ හා බැඳුණු කුඩු ව්යාපාරය පාලනය කිරීම. මේ අවුරුද්ද ඇතුළත රුපියල් බිලියන 220ක (රුපියල් කෝටි 22,000ක) මත්ද්රව්ය ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තියෙනවා. කුඩු ජාලයට එකතු වන මේ මහා ධනස්කන්ධය අපේ ආර්ථිකය සහ සමාජය බිඳවට්ටනවා. අපි දැනට හොයාගෙන තිබෙනවා, විදෙස්ගතව භාණ්ඩ ගෙන්වීම් සඳහා TT හරහා ඩොලර් බිලියනයක් යවලා තියෙනවා. හැබැයි එක භාණ්ඩයක්වත් ඇවිල්ලා නැහැ.ඩොලර් බිලියනයක් කියන්නේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 33,000ක්.
අයථා ලෙස උපයාගන්නා රුපියල්, ඩොලර් බවට පරිවර්තනය කරලා පිටරට යවනවා. ඒක ආර්ථිකයට වගේම අපේ රටේ සමාජයටත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මත්ද්රව්ය ජාවාරමට එරෙහිව තියෙන සටන හුදු ජනතාව මත්ද්රව්යවලින් නිදහස් කර ගැනීම පමණක් නොවෙයි,අයථා ලෙස උපයාගන්නා මහා ධනස්කන්ධය නතර කිරීමේ සමාජ පරිවර්තනයක්. අයථා ලෙස උපයන මුදල් නිසි පරිදි වැය කරන්න බැහැ, අයථා විදිහටමයි වැය කරන්නේ.ඒක මුළු සමාජ දේහයම කඩා වට්ටනවා.
අපේ ආණ්ඩුව ගොඩනැගීමේදී ආර්ථික හා සමාජ පරිවර්තනයක් අපේක්ෂා කළා. අපි ඒ සඳහා අවශ්ය අඩිතාලම දමා තිබෙනවා. ඒ වගේම මේ රටට දේශපාලන පරිවර්තනයක් අවශ්යව තිබුණා. පැරණි දේශපාලනය මොකක්ද? තමන්ගේ බඩ වඩාගැනීමේ දේශපාලනයයි. තමන්, තමන්ගේ ඥාතීන්, හිතවතුන් සහ මැර කණ්ඩායම්වලට වරප්රසාද ලබාදුන්නු දේශපාලනයයි. ඒකෙන් ජනතාවට දේශපාලනය තිත්ත වෙන තරමට සමාජය බිඳවැටුණා.
එදා ගෝල්ෆේස් පිටියේ නැගුණු සටන් පාඨවල හරය තමයි පැරණි විනාශකාරී දේශපාලනය ජනතාව විසින් ප්රතික්ෂේප කිරීම. 2024දී අපේ ආණ්ඩුව හදන්නෙම ඒ දේශපාලන පරිවර්තනයේ අපේක්ෂාවෙන්. වරප්රසාද අහෝසි කිරීම, අමාත්ය මණ්ඩලය සීමා කිරීම, ඇමතිවරුන් පිරිවරාගත් වාහන,පොලිස් ආරක්ෂාවන් ඉවත් කිරීම සහ රාජ්ය නිලධාරීන්ට තර්ජනය කළ බියජනක දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කර තිබෙනවා. අවුරුදු දෙක ඇතුළත වැඩිම පරිවර්තනයක් අපි ඇති කරලා තියෙන්නේ දේශපාලනය තුළයි.දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කරවා තිබෙනවා.
මෙවැනි පරිවර්තනයක් පැරණි සමාජයේ වරප්රසාද සහ ආරක්ෂාව ලැබූ “දේශපාලනික පොසිල” වැනි කුඩා කණ්ඩායම්වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ලෝකයේ හැමතැනම මෙවැනි විශාල පරිවර්තනයන්ට එරෙහිව පැරණි සමාජයේ කොටස් නැගී සිටීමට උත්සාහ කරනවා. හැබැයි සමාජය ඉන්නේ මේ පරිවර්තනයත් එක්ක අත්වැල් බැඳගෙනයි. යම් සැකයක් ඇති ජනතාව ඉන්නවා නම්, ගම් නියම්ගම් කරා පියනගලා ජනතාවගේ හෘදසාක්ෂිය අවදි කරලා අපිත් එක්ක එකතු කරගන්න ඕනෑ.
ජාතික ජන බලවේගයේ සාමාජික සාමාජිකාවන් මේ පරිවර්තනයේ නියමුවන්, ආරක්ෂකයින් සහ මගපෙන්වන්නන් ලෙස ලෑස්ති වෙන්න ඕනෑ. මොකද පැරණි දේශපාලන නෂ්ටාවශේෂ මේ පරිවර්තනයන්ට විරුද්ධව නැගිටිනවා, අඩපණ කරන්න උත්සාහ කරනවා. ළඟදී එක්කෙනෙක් කියනවා ජාතික ජනබලවේගය ආණ්ඩුව, රුවන්වැලි මහා සෑය චෛත්ය රාජයාණන්වහන්සේ ගිලාබැස්සීමට සැලසුම් කරනවා කියලා. මෙහෙම එකක් කොහොමද වෙන්නේ.
මේ පරිවර්තනයට ඔරොත්තු දෙන්න බැරි වුණාම මනස වියවුල් වෙනවා. ඔවුන්ගේ ප්රකාශ වෛරී ප්රකාශ සහ ප්රබන්ධ බවටත්, ඔවුන්ගේ හැසිරීම් වියවුල්සහගත විගඩම් බවටත් පත්වෙලා තිබෙනවා. මැටි රූපවලට කටු ගැසීම වැනි විකෘති මානසිකත්වයන් මගින් පෙනෙන්නේ මෙම වියවුල දරාගන්න බැරුව ඉන්න බවයි.
විධිමත්, සංවිධානාත්මක සහ දැක්මක් සහිත දේශපාලන ව්යාපාර හෝ සටන් මගින් රටකට හානියක් සිදුවෙන්නේ නැහැ.ඒවා සමාජයට ස්ථාවරභාවය ගේනවා. නමුත් අසංවිධානාත්මක, දැක්මක් නැති, නොසන්සුන්, වියවුල් මනසකින් යුත් කණ්ඩායම් සමාජ අරාජිකත්වයක් නිර්මාණය කිරීමේ යම් අවදානමක් පවතිනවා. ඒ නිසා අපේ ප්රතිපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලා සිටින්නේ ඔබේ සටන් විධිමත් සහ දැක්මක් සහිතව කරන ලෙසයි.
මේ අරාජික සහ දැක්මක් නැති සටන් ඇතුළෙම එහි විනාශකාරීත්වයේ පදනම නිර්මාණය වී ඇති නිසා, ඒක විසින්ම එය විනාශයට ගෙනියනවා. ඒ නිසා අපි කලබල විය යුතු නැතත්, නිරන්තරයෙන් පරිස්සම් විය යුතුයි.
අපේ වෛද්යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, බැංකුකරුවන්, විද්යාඥයන්, විශ්රාමික හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු ක්ෂේත්ර ගණනාවක් නියෝජනය කරන ජාතික විද්වත් සංවිධානයට අනුබද්ධ නියෝජිතයිනි, බලය ලබාගැනීමේ පරිවර්තනය අරන් දුන්නේ ඔබයි. මේ බලය ලබා ගැනීමත් හැරවුමක් සහ පරිවර්තනයක් ලෙස මම විශ්වාස කරනවා.
හැබැයි බලය ලබාගැනීමෙන් පසුව අපිට ආර්ථික, දේශපාලන සහ සමාජයීය ක්ෂේත්රවල පරිවර්තනයක් කරන්න තිබෙනවා. ඒ පරිවර්තනය වෙනුවෙන් අපි හැමදෙනාම එකට එක්සත්ව, එක්සිත්ව වැඩ කරමු, අභියෝගයන්ට මුහුණ දෙමු, එකතු වෙමු. බොහොම ස්තූතියි හැමදෙනාටම, ජය වේවා!
