පසුගිය දා බ්රසීලයේ පැවැති ජනාධිපතිවරණය කම්කරු පක්ෂයේ නායක ලූලා ද සිල්වාට ජය ගෙන දෙමින් අවසාන විය. මෙය නාටකීය මැතිවරණයක් විය. මෙම මාසයේ මුල පැවැති ජනාධිපතිවරණයේ මුල වටයේදී, සියයට 47 ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් පලමු වැනි ස්ථානයට පත් වූයේ බ්රසීලයේ හිටපු ජනාධිපති ජේ බොල්සොනාරෝගේ පුත්රයා වන ප්රතිවාදී අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝය. ලූලා ද සිල්වා වෙත ලැබුණු ප්රතිශතය සියයට 45 කි. සියලු දෙනාගේ විශ්වාසය වූයේ මීට පෙර තෙවරක් ජනාධිපතිධූරය ඉසිලූ ලූලාගේ දේශපාලන ජීවිතය අවසාන බවයි. එහෙත් දෙවැනි වටයේදී, ප්රබල ආපසු ගමනක් පෙන්වමින්, ලූලා ප්රතිවාදියා පරාජය කොට ජය ලැබුවේය.
කවුද මේ ලූලා?
‘ලූලා’ ද සිල්වා යනුවෙන් නම කෙටි කොට දැක්වෙන ලුවිස් ඉනාසියෝ ද සිල්වා යනු බ්රසීල දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් ඉටු කළ චරිතයකි. සටන්කාමී ඉතිහාසයක් තිබෙන ජ්යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහුගේ භූමිකාව වටහා ගැන්ම සඳහා අපට බ්රසීලයේ දේශපාලන ඉතිහාසය දෙස මඳක් හැරී බැලීමට සිදු වෙයි.
බ්රසීලය යනු දකුණු ඇමරිකාවේ පිහිටි විශාලතම රාජ්යයයි. දකුණු ඇමරිකාවේ අනෙක් හැම රටක්ම වාගේ බ්රසීලයේ ඉතිහාසයත් ප්රජාතන්ත්රවාදය, මිලිටරි ආණ්ඩු, ඇමරිකානු මැදිහත්වීම්, අධිරාජ්ය විරෝධී අරගල යනාදියෙන් පිරුණු සංකීර්ණ ඉතිහාසයකි. ඇමරිකා එක්සත් ජනපදය සාම්ප්රදායික ලෙස ලතින් ඇමරිකාව සලකන ලද්දේ සිය පිලිකන්න ලෙසටය ; තමුන්ගේ බල ක්ෂේත්රයට අයිති කලාපයක් ලෙසටය. මෙම උවමනාව සහ ස්වාධීන ආර්ථික හා දේශපාලන මාවතක් ඇති කරගැන්ම සඳහා මේ රටවල වූ අභිලාෂය අතර නිරන්තර ප්රතිවිරෝධයක් තිබුණි.
දකුණු ඇමරිකාවේ වෙනත් රටවල මෙන්, 1964 දී බ්රසීලයේ දී ඇමරිකානු උපකාරය සහිතව සිදු වූ මිලිටරි කුමන්ත්රණයකින් එතෙක් එරට පාලනය කළ ආණ්ඩුව පෙරලා දමන ලදී. ලූලා ද සිල්වාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ මෙම හමුදා ආණ්ඩුවට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයෙක් ලෙසටය.
ලූලා දුගී කම්කරු පවුලක උපත ලද අයෙකි. අවුරුදු දහ හතේ සිට කම්කරුවෙක් ලෙස වැඩ කරන්ට පටන් ගත් ඔහු පසුකාලීනව වෘත්තීය සමිති කටයුතුවලට සම්බන්ධ වී, නායකයෙක් ලෙස නැගී ආවේය. වාමාංශික අදහස් දරන බුද්ධිමතුන්, සමාජවාදී අදහස් සහිත කතෝලික ක්රියාධරයන් ආදීන් සමග එකතුව 1980 දී කම්කරු පක්ෂය පිහිටුවීමට හේ මූලිකත්වය ගත්තේය. හමුදා ආණ්ඩුවට එරෙහිව ප්රජාතන්ත්රවාදය සඳහා වූ අරගලයේ වැදගත් වැඩ කොටසක් කම්කරු පක්ෂය ඉටු කළේය.
කම්කරු පක්ෂ ආණ්ඩුව
1984 දී හමුදා පාලනය බිඳ වැටීමත් සමග බ්රසීලයේ ප්රජාතන්ත්රවාදී ක්රමය නැවත පිහිටුවන ලදී. කම්කරු පක්ෂය මෙම ප්රජාතන්ත්රවාදී දේශපාලන අවකාශය තුළ විශාල බහුජන සහයෝගයක් සහිත බලවේගයක් ලෙස නැගී ආවේය. කෙසේ වෙතත්, 2002 වර්ෂය දක්වා පැවැති සියලු ජනාධිපතිවරණවලදී ලූලා ද සිල්වා දෙවැනි අපේක්ෂකයා ලෙස කෙලවර විය. ජනාධිපති බවට පත්වීමට ඔහුට නොහැකි විය.
විශාල ජනතා සහයක් තිබියදීත්, ජනාධිපතිවරණය ජයගැනීමට ලූලාට නොහැකි වූයේ ඇයි? සටන්කාමී පසුබිමක් සහිත නායකයෙක් ලෙස ඔහු සතුව වූ ප්රතිරූපය නිසා සමාජයේ ඇතැම් කොටස් ඔහු දෙස බැලුවේ සංශයවාදී ලෙසටය. මෙම පසුබිම තුළ, සිය දේශපාලන උපාය මාර්ගය යම් ආකාරයකට වෙනස් කරගත් ලූලා 2002 මැතිරවණයට තරග කළේ මධ්යස්ථ ප්රතිරූපයක් සහිත වාමාංශික නායකයෙක් ලෙසය. එම උපාය මාර්ගය සාර්ථක වූ අතර හේ 2022 දී පලමු වරට ජනාධිපති ධූරයට පත්විය. ඉක්බිති, 2006 පැවැති මැතිවරණයෙන් යලි ජය ලද්දේය.
ලූලාගේ පලමු ධූර කාල දෙක වැදගත් වන හේතු ගණනාවකි. ලූල බලය ගන්නා විට බ්රසීලය ආර්ථික අර්බුදයකට ලක්ව, ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනකට ඇතුලු වී සිටියේය. මෙම වැඩපිලිවෙළ නිසා රජයට සමාජ සුබසාධනය සහ සංවර්ධනය සඳහා කල හැකි වියදම් යම් පමණකට සීමා වී තිබුණි. මෙම නව ලිබරල් ප්රතිපත්ති කාලයක් තිස්සේ බ්රසීලයේ වාමාංශික හා ප්රගතිශීලී කොටස්වල විවේචනයට ලක්වූ ඒවාය.
බලයට පත්වූ පසු, ආර්ථිකය සම්බන්ධව ලූලා අනුගමනය කළේ සංයමයෙන් යුක්ත, ප්රවේශම්කාරී වැඩපිලිවෙලකි. එක අතකින් බ්රසීලය ඇතුලුව සිටි ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩපිලිවෙලින් ඉවත් නොවීමට හේ තීන්දු කළේය. මෙය යම් ආකාරයකට කම්කරු පක්ෂයට සහය දුන් ව්යාපාරය තුල හා පිටත සිටි රැඩිකල් කොටස්වල විවේචනයට ලක්වූ හේතුවක් විය.
අනෙක් අතට, එම වැඩපිලිවෙලේ සීමාව තුළ උපරිම වශයෙන් සමාජ වියදම් කළමනාකරණය කරගනිමින් පසුකාලීනව බෙහෙවින් ප්රකට වූ බොල්සා ෆැමිලියා නම් වූ දිලිදුකම පිටුදැකීමේ ව්යාපාරය හේ ආරම්භ කළේය. 2006 යලි වරක් ජය ලබන විට, ඒ සඳහා බලපෑ ප්රධානතම හේතුව බොල්සා ෆැමිලියා වැඩසටහන හරහා ලක්ෂ සංඛ්යාත දිලිඳු ජන කොටස් අතර කම්කරු පක්ෂය ප්රබල ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන සිටීමයි. ලූලාගේ දිලිඳුකම පිටුදැකීමේ ව්යාපාරය නිසා අති විශාල ජනතාවකගේ ජීවන තත්වය උසස් වූ අතර දිලිදු පන්තියේ සිට මැද පන්තිය දක්වා බොහෝ පිරිසකගේ ආර්ථික තත්වය වර්ධනය විය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩපිලිවෙල අවසාන වූ පසුව ආණ්ඩුවට ආර්ථික තීරණ සම්බන්ධව වැඩි නිදහසක් ලැබුණි. මේ සමග සංවර්ධන වියදම් වැඩි කරමින්, යම් ආකාරයක වර්ධනීය මාවතකට රට ගෙන ඒමට ලූලා ද සිල්වා සමත් විය. 2010 දී ජනාධිපතිධූරයෙන් විශ්රාම ගන්නා විට, හේ විශ්රාම ගත්තේ එරට වැඩිම ජනප්රියත්වයක් ඉසිලූ ජනාධිපතිවරයා ලෙසටය.
අන්ත-දක්ෂිණාංශික ප්රතිවිරෝධය
කෙසේ වෙතත්, ලූලාගේ විශ්රාම යාමෙන් පසුව බ්රසීල දේශපලනය කැලඹිලිකාරී වාතාවරණයකට මුහුණ පෑවේය. ඔහුට පසුව ජනාධිපතිධූරයට පත්වූ ඩිල්මා රුසෙෆ්ට එරෙහිව එරට දක්ෂිණාංශික පක්ෂ සහ බලවේග බලවත් ව්යාපාරයක් සංවිධානය කළේය. 2015 දී ඇයව විශ්වාස භංගයකින් බලයෙන් පහ කෙරුණි. 2019 වර්ෂයේදී, අති-දක්ෂිණාංශික අදහස් දරන, හිටපු හමුදා නායකයෙක් වන ජේ බොල්සොනාරෝ ජනාධිපතිවරණය ජය ගෙන බලය අල්වා ගත්තේය.
ජේ බොල්සොනාරෝගේ පාලන කාලය තුළ කම්කරු පක්ෂ ආණ්ඩුව යටතේ ගනු ලැබූ ප්රගතිශීලී ක්රියාමාර්ගවලට වඩා වෙනස් ප්රතිපත්තියක් අනුගමනය කෙරුණි. ඔහුගේ පාලනය වඩාත් අවධානයට ලක්වූයේ එරට ඇමසෝන් වනාන්තරය සම්බන්ධව ඔහු අනුගමනය කළ ප්රතිපත්තිය නිසාය. ඇමසෝන් වනය යනු ආර්ථික ලාභය සඳහා යොදාගත හැකි හුදු සම්පතක් ලෙස සලකා බොල්සොනාරේ දැඩි පරිසර විරෝධී ප්රතිපත්තියක් ගෙන ගිය අතර, කෝවිඩ් වසංගතය කාලයේ ඔහු අනුගමනය කළ එන්නත් විරෝධී ප්රතිපත්තිය නිසා විශාල ජනතාවක් මරණයට ද පත්විය.
කම්කරු අයිතිවාසිකම්, සමාජ සුබසාධනය, සුලු ජාතික කොටස්වල අයිතීන්, ස්ත්රී අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම බඳු ප්රගතිශීලී ඇගයුම්වලට විරුද්ධ දැඩි දක්ෂිණාංශිකවාදියෙක් වූ බොල්සොනාරෝ දැඩි ඇමරිකානු හිතෛශියෙක් ද විය. හමුදා ආණ්ඩු කාලයේ සිටම බ්රසීල සමාජය තුල වූ ප්රතිවිරෝධය – ඇමරිකානු ගැති, දක්ෂිණාංශික, මිලිටරිවාදී කඳවුර සහ ප්රගතිශීලී-ප්රජාතාන්ත්රික කඳවුර අතර ප්රතිවිරෝධය යලි ප්රබල ලෙස ඉස්මතු කරන්ට බොල්සොනාරෝගේ පාලනය කාලය හේතු විය.
මෙම පසුබිම තුළ කම්කරු පක්ෂය යලි ජනාධිපතිවරණයට තරග කරන ලෙස ලූලාගෙන් ඉල්ලා සිටියේය. 2015 විශ්වාසභංගයෙන් පසුව, අතිශය ගැටලු සහගත නඩු පටිපාටියක් අනුගමනය කොට ලූලාව සිරගත කොට තිබුණි. පසුව එම නඩු පටිපාටිය දෝෂ සහගත බව ඔප්පු කරමින්, නිදහස ලබන්ට ලූලා සමත් විය. මේ අනුව 2022 දී පැවැති ජනාධිපතිවරණයේ දී, බොල්සොනාරෝව පරාජය කරනු පිණිස ලූලා යලි මැතිවරණ බිමට පිවිසි අතර එහිදී ඔහු සාර්ථක විය. බොල්සොනාරෝගේ ෆැසිස්ට් ලක්ෂණ සහිත පාලනය පිලිකෙව් කළ, ප්රජාතාන්ත්රික ඇගයුම් අගය කළ විශාල ජනතාවක් ලූලා වෙනුවෙන් ඡන්දය ප්රකාශ කළේය.
‘ඩොන්රෝ’ සිද්ධාන්තය
බ්රසීලයේ මෙවර ජනාධිපතිවරණය දෙස බොහෝ අය අවධානයෙන් සිටියේ ලෝක දේශපාලනයට අදාලවත් එය වැදගත් වූ නිසාය. මේ වනවිට බටහිර ලෝකය පුරාවට අන්ත දක්ෂිණාංශික දේශපාලන ප්රවාහයක් හමා යමින් තිබේ. මේ සඳහා ප්රධාන වශයෙන් බලපෑවේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්රම්ප් දෙවන වරට ජනාධිපතිධූරය ජයගැනීමය. ඇමරිකාවේ ට්රම්ප් බලවත් වීම, ආසන්න කලාපයේ වූ දකුණු ඇමරිකාව වෙත සෘජුව බලපෑම් කළේය. 2000 ගණන්වල ලූලා බලයට පත් වන විට, ලතින් ඇමරිකාව පුරාවට ප්රගතිශීලී, වාමගාමී ආණ්ඩු බලයට පත්වන ප්රවණතාවයක් තිබුණි. මෙය හඳුන්වන ලද්දේ ‘රෝස රැල්ල’ (pink tide) ලෙසටය.
ට්රම්ප්ගේ ජයග්රහණය දකුණු ඇමරිකාවේ දක්ෂිණාංශික බලවේග ධෛර්යයමත් කරන්නක් විය. රෝස රැල්ලට එරෙහි දක්ෂිණාංශික ප්රහාරයක් දකුණු ඇමරිකාව තුල ශක්තිමත් වෙමින් තිබුණි. ආජන්ටිනාව, කොලොම්බියාව, ඉක්වදෝරය බඳු රටවල වූ ප්රගතිශීලී ආණ්ඩු වෙනුවට දක්ෂිණාංශික ආණ්ඩු බලය ගත්තේය. දකුණු ඇමරිකාව සම්බන්ධව සිය ප්රතිපත්තිය ඩොනල්ඩ් ට්රම්ප් විස්තර කොට ඇත්තේ ‘ඩොන්රෝ’ සිද්ධාන්තය යන නමිනි.
1800 ගණන්වල, දකුණු ඇමරිකාව යනු ඇමරිකාවේ බල ක්ෂේත්රයකි යන අදහස පලමුව සූත්රගත කළේ ජනාධිපති ජේම්ස් මොන්රෝය. එම අදහස ‘මොන්රෝ සිද්ධාන්තය’ ලෙස ප්රකට විය. ‘ඩොන්රෝ’ සිද්ධාන්තය යනු, එම ඓතිහාසික නමට සිය නමේ මුල් අකුර ගලපමින්, දකුණු ඇමරිකාව තම පාලනය යටතේ තිබිය යුතු බවට ට්රම්ප් ප්රකාශ කළ ආකාරයයි. මේ වනවිට කලාපයේ තිබෙන තමුන්ට අවනත නොවන ආණ්ඩුවලට එරෙහිව ආක්රමණකාරී ලෙස ට්රම්ප් ක්රියා කොට ඇත. කියුබාවට බලවත් ලෙස සම්බාධක පනවා එහි ගෙල මිරිකා තිබේ. වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ පැහැර ගෙන, ඇමරිකාවට ගෙන යන්ට ට්රම්ප් ක්රියා කළේ රාජ්යයන්ගේ ස්වෛරීත්වය පිලිබඳ අන්තර්ජාතික නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමිනි.
මෙවර බ්රසීල මැතිවරණයට තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා වූ හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ පුත්රයා වෙත වොෂිංටනයේ අනුග්රහය ලැබුණි. මේ අනුව මෙය එක අතකින් බ්රසීලය තුළ අන්ත දක්ෂිණාංශය සහ ප්රජාතන්ත්රවාදී බලවේග අතර ගැටුමක් වගේම, ජාත්යන්තරව ට්රම්ප් අනුගමනය කරන ආක්රමණකාරී ප්රතිපත්තිය පිලිබඳ ජනමතවිචාරණයක් හා සමාන විය. යම් ආකාරයකට බොල්සොනාරෝ ජය ලැබුවේ නම් එය ඩොන්රෝ සිද්ධාන්තය බ්රසීල ජනයා විසින් අනුමත කිරීමක් හා සම වෙයි. ලූලා ද සිල්වා යටතේ බ්රසීලය ජාත්යන්තරයේ පෙනී සිටි බොහෝ ප්රතිපත්ති – බ්රික්ස් සංවිධානය ශක්තිමත් කිරීම, පලස්තීනයේ නිදහස ආදී වූ ප්රගතිශීලී අදහස් පරාජය කිරීමක් ද වෙයි.
ලූලා ජනාධිපතිවරණය ජය ගත්තේ මෙන්න මේ පසුබිම තිබියදීය. මෙම මැතිවරණයේ දී විශේෂයෙන්ම මෙටා සමාගමට අයත් ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් හා වට්ස් ඇප් යනසමාජ මාධ්යයට වේදිකා ඇල්ගෝරිද්ම වෙනස් කිරීම මගින් බොල්සොනාරෝට ආධාර කළ බවට චෝදනා එල්ල විය. මැතිවරණයට දවස් කීපයක් තිබියදී, මේ වේදිකාවල ලූලාගේ ව්යාපාරයට අදාල ප්රචාරක දැන්වීම්වලට බාධා සිදුකිරීම් පනවා ඇති බවට පවවසමින් ලූලා අධිකරණය හමුවට පවා ගියේය.
පලමු වටයේ පරාජයෙන් පසුව දහස් ගණන් ක්රියාකාරීන් ස්වේච්ඡාවෙන් ලූලාගේ දෙවන වටය වෙනුවෙන් ප්රචාරක වැඩට අවතීරණය විය. ගෙන් ගෙට යමින්, අසල්වාසීන් දැනුවත් කරමින් බොල්සොනාරෝ පරාජය කිරීමේ අවශ්යතාවය සන්නිවේදන කළේය. විශාල තාක්ෂණික සමාගම්වල බාධා කිරීම් කවරක් වුවත්, ලූලාගේ ජයග්රහණයට අවසාන මොහොතේ ප්රබල ලෙස දායක වූයේ ‘ජනතාව සංවිධානය කිරීමට’ ක්රියාධරයන් පළ කල අප්රතිහත මහන්සියයි.
රමිඳු පෙරේරා,
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය,
නීති අධ්ය්යන අංශය,
විවෘත විශ්වවිද්යාලය.
