අප වන් අති දිළිඳු කොදෙවුවක දිවි සටනේ නිරත පුද්ගලයා යනු අසරණ ගොදුරක් පමණි. අඩු වැඩි වශයෙන් ජීවිතය උදෙසා අරගලය සූදුවකි. අපි ඒ ඇතම් සූදු වෘත්තීන් ලෙස හඳුන්වමු. තවත් සමහර ඒවා සූදු ලෙස ගර්හාවට ලක් කරමු.
ඒ අනුව ලොතරැයි යනු වාසනාව උරගා බැලීමකි. සීට්ටුව අහිංසක උත්සාහයකි. ක්ෂුද්‍ර ණය උගුලකි. රේස් බයි රේස් ගර්හිත සූදුවකි. බූරු පිටිය නීති විරෝධී සූදුවකි. හොරෙන් රට පැනීම මාරාන්තික ගේමකි. එහෙත් ගැඹුරින් බලද්දී මේ සියල්ලම අඩුවැඩි වසයෙන් සූදුමය. එහෙත් රේස් බයි රේස් යනු ගර්හාවට ලක්වන සූදුවකි. අපි දෙකක් දාගත්විට පවා මිනිසකු පිට නැගි අසරුවෙකි ගීය උත්කර්ෂයෙන් ගයන්නේ එහෙයිනි.
කල්‍යාණි කිවිඳියගේ වේගෙන් දුවපන් කන්ථක නම් කවිය මේ සූදුවක් යයි සම්මත ක්‍රියාව දෙස මෙතෙක් සමාජය බැලූ ගර්හිත කෝණයෙන් බැහැරට යමින් ඉතා සංවේදී ලෙස බලන්නට දැරූ උත්සාහයකි.
මෙහි කථකයා මවගේ අත ඇති මුදලද උදුරා රේස් දමන පියා කෙරේ කොව නූපදවා ඒ වෙනුවට මිනිසා මෙවන් දෑ කෙරේ පොලඹවන සමාජ, ආර්ථික පසුබිම කෙරේ අප යොමුකරයි. ඇය තම කවිය අවසන් කරන ආකාරය දෙස බලන්න.
අදත් පැරදුනෝතින් හෙම මගෙ පපුවත් පැළී යාවි
උගස් කෙරුව මේ ගේ පැල මුදලාලිට සින්න වේවි
අනෝමාවෙ කිඹුල්ලු උඹ බලා ඉද්දි අපිව කාවි
වේගෙන් දුවපන් කන්ථක දවසක බුදුබව ලැබේවි
දයාසේන ගුණසිංහ නොවඳිමි සිදුහත් කෘතියේ අපට ගෙන එන වැහැරී ගිය උකුළේ කවිය මෙන්ම මේක කවියද දේශපාලනිකය. කල්‍යාණි මේ කවිය හරහා තමන්හට නිර්මාණකාරියක ලෙස පුළුල් දැක්මක් ඇති බව මනාව පෙන්වා දෙන්නීය.
ඇගේ කෘතියෙහි බොහෝ කවි සියුම් සංවේදනයන් අවදි කරයි. මානවයාගේ ජීවන අරගලය සහ පැවැත්ම උදෙසා අකාරුණික යුදයක පැටළුණ මිනිසා කෙරේ සානුකම්පිත අවධානයක් යොමු කරයි.
මලක් සේ පැවතීම මැයෙන් එන කවියද ඇගේ නිර්මාණ අතර වෙසෙසින් කැපී පෙනෙන්නකි. ඇය කවිය අරඹන්නේ මෙලෙසිනි.
ගණන් සර්ගෙ දුවයි මමයි
එකම කුලකයක ළමයි
ඒ බව අඬ අඬා කියද්දිම තමයි
‘අද පරාගණය ප්‍රැක්ටිකල්’ යැයි
මගේ කට මිරිකලා දැම්මෙ….
වර්තමාන සමාජයේ ඉතා දරුණු ව්‍යසනයක් ඇය කවියට නගන්නී නව්‍ය ආකරයකටය. ඇගේ මේ යෙදුම් කවියෙහි අර්ථය තීව්ර කරයි.
ඇගේ කවිය සංක්ෂිප්ත ගුණය මැනවි රකියි. ඒ සංක්ෂිප්ත බව පෙරළා කවියෙහි සාර්ථකත්වයට මෙහෙ කරයි. මල් නොපිපෙන ගස් ඒ සඳහා හොඳ උදාහරණයකි. එහි ඇති සංක්ෂිප්ත බව මෙන්ම ව්යංගර්ර්ථවත් බවද ප්රබලය.
පාට පාටැති කොලවලින්
අපූරුවට සැරසීගෙන
අවට මල් පැල වලටත්
සෙනෙහසින් හෙවන දීගෙන
වැහි නියං කුණාටු නිහඬව
සම සිතින් ඉවසගෙන
මල් නොපිපුණත් සමහර ගස්
ඉන්න ලස්සන හිනාවීගෙන
එහෙත් ඇගේ ගසකින් වැටුණ කඳුළක් කවිය නම් සුලබ අත්දැකීමෙහි ගැඹුරු මානයන් සොයා යන්නට අසමත් වෙයි. එහෙත් මේ කාව්‍ය කෘතියෙහි බොහෝ නිර්මාණා දක්ෂ කිවිඳියකගේ ආගමනයට සාක්ෂි සපයයි.
ඇය කවිය අත නොහැර රැඳෙනු දැකීම අපේ අපේක්ෂාවයි.
