පොතක් යනු හිතක මහිමය පිටු අතර සංකලනය කරන්නකි. එකී හිත ගලනය වන පොත සම්පූර්ණත්වයකින් පිරෙනවාට වඩා අසම්පූර්ණ වීමම, එයට ළබැඳි වන්නා වූ පාඨකයෙකුට ඇති ආනන්දයයි. සෑම කතාවක්ම යම්කිසි නිගමනයකට එළඹ එතැනින්ම අවසානයක් කරා ළඟාවීමට අවැසි නැත. විවෘත වූ නිදහස් අවසානයක් සොයන්නට පාඨකයා හට ඉඟි ලබා දී, පාඨක මනස නිදහස් සිතුවිලිවල අනන්තය තෙක් විහිදන්නට විවර කරලන කතාද ඇත. ‘දිල්ෂි තත්සරණි අබේරාජ’ විසින් රචිත ‘බීර සුවඳැති හාදු’ යනු එවන් වූ දැක්මකින් හෙබි ඇගේ පළමු නවකතාවය.
“අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.”
දහවලටත් පෙර මිහිදුමෙන් වැසී යන නිර්නාමික වූ නිම්නයක හිඳ දිල්ෂි අපට කතාවක් කියන්නීය. එකී නිම්නයේ උණුසුම් හදවත බඳු වූ ෆ්රීසියා අවන්හලට ගොඩව බීර අමෘතය තොලගාන’තුර සිය මනස නිදහස් කරගන්නා පිරිමින් හා එකී නිදහසට මාවත තනන රිසින් අසා හිඳිනා ගැහැනුන්ගෙන් සම්මිශ්රිත වූ කතන්දරයක එතැන්
පටන් පාඨකයා වෙළෙනුයේ අපූර්ව වූ සිතුවිලි සමුදායක නිමග්න වෙමිනි. ෆ්රීසියා අවන්හල් දොරින් ඇතුළට පය තබන පිරිමි ආත්මයන්හි පෙර අපර කතා කතුවරිය අපට එකවර ගෙනහැර පාන්නේ නැත. ඔවුන්ගේ ජීවිතය අපට දිගහැරෙනුයේ එම මොහොතේ පටන්ය. එම පිරිමි ආත්මයන් මෙන්ම අවන්හල් දොරින් ඇතුළත හිඳින, ඔවුන් එනතුරු මග බලන ගැහැනු ආත්මයන් පවා අප හා සංවාදයේ යෙදෙනුයේ හැඟීම් අනුසාරයෙනි.
බීර සුවඳැති හාදු තුළ වෙළෙන්නා වූ සෑම චරිතයකම පාහේ එදිනෙදා ජීවිතයෙහිදී අප අත්දකින බොහෝ සිදුවීම් දිගහරින, මතකය අවදි කරලන චරිතය. ඔවුන්ගෙන් පෙළක් අය බාහිර ලෝකයට විවර කරලන ඇතුලු හදක් ඇති අය මෙන්ම, පෙළක් චරිත එකී ඇතුළාන්තයෙහිම ගිලී බාහිර ලෝකයෙන් සැඟවෙන අයවලුන්ය. පෙළක් චරිත ගුප්ත වූ මනෝභාවයන් හකුළා ගත් එහෙත් ජීවිතය විඳින්නට ප්රයත්න දරන්නවුන්ය. ඒ සෑම චරිතයකම පාහේ මනෝභාවයන් දිල්ෂි ගෙන එනුයේ අපූර්ව වූ මිහිරියාවකින් හෙබි, කියවීමෙහි රුචිය ආනන්දයෙන් වඩවන හැඟීම් සාරිත භාෂා රටාවකින් වීම විශේෂය. එනිසාම බීර සුවඳැති හාදු පතුරන මත් සුවඳ එකම ඡේදයක පාඨකයා බොහෝ වේලා නතර කොට පරිකල්පන රූ මවන්නට සමත්ව ඇත.
ෆ්රීසියා අවන්හල් දොරටුව අපගේ ජීවන දොරටුව වැනිය. එයට එන අයවලුන් කවුරුන් දැයි දොරකොඩට එනතුරා අප නොදනී. එලෙසම පෙළක් අයවලුන් පිළිබඳව දොරින් ඇතුළට පය තබන තුරුම අප නොදනී. ඉන් ඇතුළට විත් අප හා සංවාදයේ යෙදෙන පෙළක් අයවලුන් නැවත අපට කිසිදා මුණනොගැසුණහොත් යන බිය අප සැමට ජීවිතයේ වරකදී හෝ දැනී ඇත්තේ යම් සේද, බීර සුවඳැති හාදු විඳින චරිත සමූහයාටත් දැනෙනුයේ නිරායාසයෙනි. එකී හැඟීම තුළ වෙළී මෙතෙක් පැවති සැනසීම අනතුරේ දාගන්නවුන් මෙන්ම එකී සැනසීමට අංශු මාත්රයක හෝ බලපෑමක් නොවී අනතුරේ නොවැටෙන්නට ප්රයත්න දරන්නවුන්ද මෙලොව විවිධාකාර වූ ස්වරූපයන්ගෙන් විසිරී ඇත.
“ළං වෙන්නට එපා කියමින් ආදරණීය වන පිරිමියෙක් ගැන බැඳීමක් ඇති වීම හා කටයුතු කිරීම මොන තරම් විකාරයක් දැයි සිතන්නට ඇලීෂා මොහොතක් ගත්තාය.”
ආදරණීය බවින් මත් වූ සිනහවක වන ජීවිතානන්දය දිල්ෂි මනාකොට සිය කතාව තුළ තවරා, අපූර්ව වූ අසම්පූර්ණත්වයකට එළඹී ඇත. කෘතිය අවසන මෙතුළ ඇත්තේ කෙතරම් ගැඹුරු වූ ආකර්ෂණීයත්වයක් දැයි මම දෑස් වසාගෙන සිහි කළෙමි. ඉන් එහා කතාව ගොඩනඟා ගත යුත්තේ අපමය. බැඳීමක් තුළ වන නිමා නොවන හීන සම්භාරය මෙන්ම , විඳීම්- විඳවීම් සම්භාරය කෙතරම්ද එය දරාගත යුත්තේද එකී බැඳීමෙහි දැඩිව වෙළෙන්නාමය.
“මේ පොළොව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම්, අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනිවීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.”
බීර සුවඳැති හාදු ආදර කතාවක් දැයි පෙළක් විට ඔබ මගෙන් විමසනු ඇත. ආදරය නොගෑවුණු කතාවක් මෙලොව කොහේ හෝ පවතින්නේ දැයි මම එවිට ඔබෙන් අසමි.
බීර සුවඳැති හාදු යනු ඉමහත් පාඨක අවධානයක් දිනාගත් නවකතාවකි. එකී ආකර්ෂණීය අවධානය ලබන්නට මෙහි එන පරිසර වර්ණනාව, හැඟීම් ගනුදෙනුව, චිත්තාභ්යන්තරික සිතුවිලි විවරණය, චරිත නිර්මාණය, අවස්ථා හා සිද්ධි ගැළපීම් මුසුව මෙන්ම හාදු පුරවාගත් කවර නිර්මාණයද ඊට ඉමහත් රුකුලක් වන්නට ඇතැයි පොත කියවා අවසන කවරය දෙස යළිත් බලා හිඳි මට සිතුණි.
