වහල මත සවි කරන ලද සූර්ය පැනලවලින් 2024 වසර වන විට මෙගා වොට් 1400ක ප්රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වුවද 2026 වසරේ මේ වන විට එම ප්රමාණය මෙගා වොට් 2542 දක්වා වැඩි වී ඇතැයිද එය 2024 වසර වන විට තිබූ මෙගා වොට් ප්රමාණය හා සසඳන විට සියයට 181ක වැඩිවීමක් බවත්, පොළොව මත සවිකළ සූර්ය පැනල මඟින් 2024 වසර වන විට මෙගා වොට් 163.4ක ධාරිතාවක් එක්ව තිබුණද එම ප්රමාණයද මේ වන විට මෙගා වොට් 534 දක්වා සියයට තුන්සීයකට වැඩි ප්රමාණයකින් ඉහළ නංවා ඇති බවත් වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක ‘සිළුමිණට’ පැවසීය.
ඒ අනුව සමස්ත විදුලි බල පද්ධතියට සූර්ය පැනල මගින් 2024 වසරේදී මෙගා වොට් 1564ක් එක්ව තිබූ අතර පසුගිය වසර දෙක තුළදී එනම් මේ වන විට මෙගා වොට් 3076 දක්වා වැඩි වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
2025 වසර අවසානයේදී වහල මත සවිකළ සූර්ය පැනලවලින් මෙගා වොට් 2339.7ක් විදුලි බල පද්ධතියට එක්වීම තුළින් එය 2024 වසරේ මෙගා වොට් ප්රමාණයට සාපේක්ෂව මෙගා වොට් 167%ක වැඩිවීමක් බවත් 2025 වසර අවසානයේදී පොළොව මත සවිකළ සූර්ය පැනල මඟින් මෙගා වොට් 340.6ක ධාරිතාවක් දක්වා ඉහළ නංවමින් 2024 ප්රමාණයට සාපේක්ෂව 208%ක සූර්ය පැනල මඟින් ජාතික විදුලි බල පද්ධතියට එක්වූ විදුලි ධාරිතාව ඉහළ ගොස් ඇතැයිද බලශක්ති ඇමැති අනුර කරුණාතිලක සඳහන් කළේය.
මේ වන විට වහල මත සවි කළ සූර්ය පැනල මඟින් ජනනය වන මෙගා වොට් 2542ක ප්රමාණය 2029 වසර වන විට තවත් මෙගා වොට් 500කින් ඉහළ නැංවීමට ද පොළොව මත සවි කළ සූර්ය පැනල ව්යාපෘතිය පුළුල් කරමින් ජලාශ මත පාවෙන සූර්ය පැනල වෙත යාමට ද සැලැසුම් කර ඇතැයි කී ඇමැතිවරයා ඒ අනුව ජලාශ මත පාවෙන සූර්ය පැනල ඔස්සේ තවත් මෙගා වොට් 792ක ප්රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලැසුම්කර ඇතැයි පැවැසීය.
ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුළදී සූර්ය පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 1292ක් එක්කිරීමට බලාපොරොත්තු වන බවත් වර්තමානයේ සූර්ය පැනල මඟින් ජාතික පද්ධතියට එක්වන මෙගා වොට් 3076ක ප්රමාණය ඉදිරි වසරක දෙකක කාලය තුළදී මෙගා වොට් 4368 දක්වා වැඩි කිරීමට සැලැසුම් කර ඇති බව සඳහන් කළ ඇමැතිවරයා ඒ ඔස්සේ පසුගිය වසර දෙක තුළ සූර්ය පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කළා සේම ඉදිරි වසර දෙක තුළද විදුලි ධාරිතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවද බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පැවැසීය.
