කාවන්තිස්ස හස්තියාට වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
වලාන දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි සහ ශාන්ත ධර්මසිරි රත්නායක යන සැකකරුවන් අද දිනයේදී වනජීවි නිලධාරීන් මාර්ගයෙන් මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී වනජීවි නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
එසේම සැකකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත කරුණු ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ද මහේස්ත්රාත්වරිය වනජීවි නිලධාරීන්ට නියෝග කළාය.
විශේෂයෙන්ම සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වූ ආකාරය, නිශ්චිත දිනය ඇතුළු සවිස්තරාත්මක තොරතුරු වාර්තාවක් ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව මහේස්ත්රාත්වරිය වනජීවි නිලධාරීන්ට අවධාරණය කරමින් සඳහන් කළාය. වලාන දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනජීවි නිලධාරීන්ට බාරදීමෙන් අනතුරුව වනජීවි නිලධාරීහු ඔවුන්ගෙන් ප්රශ්න කිරීමෙන් පසු අද පස්වරුවේ මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.
එහිදී සැකකරුවන් දෙදෙනාට වෙන්-වෙන් වශයෙන් නඩු 02ක් පැවරීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.
මුලින්ම අධිකරණය ඉදිරියේ රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි යන අයට විරුද්ධව පවරා ඇති නඩුව විභාගයට ගැනිණි. එහිදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණ ඉදිරියේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ එම සැකකරු විමර්ශන මගින් අනාවරණය වූ කරුණු මත වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තමන්ට බාර දුන් බවයි.
එහිදී ඔහු සන්තකයේ ගිනිඅවියක් තිබෙන බවත්, බලපත්රයක් ඇතිව තබාගෙන සිටි එම ගිනිඅවියේ බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් සැකකරු කටයුතු කර තිබෙන බවත්, සැකකරු එම ගිනිඅවියෙන් කාවන්තිස්ස ඇතාට වෙඩි තබා ඇතැයි සැක පළකරන බවත් වනජීවි නිලධාරියා පැවසීය. සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ කරුණු දක්වමින් කියා සිටියේ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් කළ බවයි. ගිනිඅවි බලපත්ර කොන්දේසි කිසිසේත්ම තම සේවාදායකයා විසින් උල්ලංඝනය කර නොමැති බවත්, හස්තියාට තමන්ගේ සේවාදායකයා වෙඩි තැබූ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවත් උදය රාජපක්ෂ නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කියා සිටියේය.
හස්තියාගේ මරණයෙන් පසුව රටේ පැවති කැළඹීම් තත්ත්වය භාවිත කරමින් වලාන දූෂණ මර්දන අංශය විසින් ගමට කඩාවැදී බලපත්ර සහිත ගිනි අවි තබාගෙන සිටි හයදෙනෙක් රැගෙන ගිය බවත්, ඉන් සිව්දෙනකු රඳවාගෙන සිටි බවත්, මෙම සැකකරුවන් එවැනි ආකාරයට වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් අය බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
කිසිදු සාක්ෂියක් රහිතව පදනමකින් තොරව තමන්ගේ සේවාදායකයාට චෝදනා එල්ල කර ඇති බව පැවසූ නීතිඥවරයා, හස්තියාගේ මරණය තමන්ගේ සේවාදායකයාගේ ක්රියාකලාපය නිසා කිසිසේත් සිදු වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විද්යාත්මක පරීක්ෂණ කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බවත් සඳහන් කළේය.
විශේෂයෙන්ම තමන්ගේ සේවාදායකයා එම අපරාධයට සම්බන්ධතාවක් ඇත්නම් රජය රස පරීක්ෂකවරයා හරහා අදාළ තුවක්කු පරීක්ෂා කළහොත් ඒ සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමට හැකියාව තිබෙන අවස්ථාවක එවැනි කිසිදු විමර්ශනයක් සිදු නොකරමින් තමන්ගේ සේවාදායකයාව අත්අඩංගුවට ගෙන ඇති බව උදය රාජපක්ෂ නීතිඥවරයා කියා සිටියේය.
ඉන්පසුව ශාන්ත ධර්මසිරි රත්නායක යන සැකකරු සම්බන්ධයෙන් වන නඩුව අධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණි.
එම සැකකරු ප්රාදේශීය ලේකම් කාර්යාලයක අවුරුදු 20ක සේවා කාලයක් තිබෙන නිලධාරියකු බවත්, ඔහුට වගා බිම් කිහිපයක් තිබෙන බවත් අධිකරණය ඉදිරියේදී හෙළි විය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහුට ගිනිඅවියක් තිබුණද, කිසිදු දිනක එම ගිනිඅවිය ඔහු භාවිත කර නොමැති බවත්, ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්රශ්න කිහිපයක් මතු කළ මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න, සැකකරු හස්තියාට ගිනිඅවියකින් වෙඩිතැබීමක් සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි මොනවාදයි වනජීවි නිලධාරීන්ගේ විමසා සිටියාය. නමුත් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ප්රශ්නයට නිසි පිළිතුරක් ලබාදීමට සමත් වූයේ නැත.
සැකකරුවන් නිකරුණේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරිය, නිශ්චිතව සැකකරුවන් මෙම ගිනිඅවිය භාවිත කරමින් කාවන්තිස්ස හස්තියාට වෙඩි තබා ඇත්නම්, ඒ සම්බන්ධයෙන් අදාළ දින වකවානුව සහ අනෙකුත් විද්යාත්මක පදනම් සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටී නම් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට වාර්තා කළ යුතු බවට නියෝග කළාය.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
