අධිකරණයෙන් වරදකරු කිරීමෙන් පසු, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම රජය විසින් ප්රතික්ෂේප කර ඇත.
කිසිදු පාර්ශ්වයක බලපෑම්වලට යටත්ව නීතිය අභිබවා යාමට ජනාධිපතිවරයා කිසිදු පියවරක් නොගන්නා බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.
‘නීතිමය ගැටලු විසඳාගත යුත්තේ අධිකරණය හමුවේ මිස ඊට පිටතින් නොවේ’ යන්න මේ කරුණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වී ඇත. මෙවැනි ඉල්ලීමකට ඉඩදීමෙන් සමාන තත්ත්වයන්හි පසුවන අනෙකුත් පිරිස් ද සමාව ඉල්ලා සිටීමේ අයහපත් පූර්වාදර්ශයක් නිර්මාණය වන බැවින් ජනාධිපතිවරයා එම හිමිනමට සමාව ලබාදීමට එකඟ නොවනු ඇතැයි පැවසේ.
‘ඥානසාර හිමියන් නඩු දෙකකට වැරදිකරු වී ඇති අතර, උන්වහන්සේට එරෙහිව තවත් නඩු කිහිපයක් විභාග වෙමින් පවතිනවා. මෙම සියලු නඩුවලට අදාළව ජනාධිපතිවරයාට උන්වහන්සේට පූර්ණ සමාවක් ලබාදීමට හැකියාවක් නැහැ’ යැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
