අලියද, මිනිහද වඩා වැදගත්? – අපි මේ දෙකෙන් එකක්වත් අනෙකට වඩා ඉහළින් තියන්නෙ නෑ : පරිසර ඇමැති දම්මික පටබැඳි

12
(ඡායාරූපය පෙර ගන්නා ලද්දකි.)

පරිසර සතිය අවසන් වුණා. රක්ෂිත 86ක් ගැසට් කිරීමේ වැදගත් තීරණ එක්ක, අලිමංකඩ ගැසට් කිරීම් එක්ක ඒ කටයුතු සිදුවුණා අපි දැක්කා. ඒ අතර වන්දම-දෙමලිය අලිමංකඩ වනාන්තර ඉඩම් ව්‍යාපාරිකයන්ට දෙන්නත් ආණ්ඩුව සැලසුම් හදනවා. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත…?

ඇත්තටම අපේ එහෙම දෙබිඩි පිළිවෙතක් නෑ. වන්දම-දෙමලිය එහෙම ඉඩම් දෙන සැලසුමක් නෑ. ඒවා ඇතැම් පාර්ශ්ව හිතාගත්තු දේවල්. ඒවා ඔප්පු කරන්න දේවල් කොහෙවත් නෑ. පහුගිය ආණ්ඩු කාලෙ සිදුවුණු දේවල් ඔළුවෙ තියාගෙන ඒගොල්ලො උපකල්පනය කරනවා, මෙහෙම වෙනවා කියලා. හඳපානාගල අලිමංකඩ අපි විවෘත කළා. ඒකට කැබිනට් අනුමැතිය ගත්තා. එතකොට ඒගොල්ලො කියනවා, අපි ඒ කොටස ගැන තීරණයක් ගත්තෙ වෙනත් කොටසක් අත්හරින්න කියලා. හැබැයි අපි ඒ කොටස තීරණය කළේ ඒක තමයි අපිට මුලින්ම නිදහස් කරගන්න පුළුවන් කොටස. ඒ කොටසෙ තමයි තියෙන්නෙ වගාකරලා අත්හැරපු ඉඩම්. ඒකෙන් පටන් අරගෙන මේක පුළුල් කරගන්නයි අපිට අවශ්‍ය. අපි එහෙම අත්හරින්නෙ නෑ. අපි මේක පියවරෙන් පියවර යනවා.

ඇයි එතකොට එහෙම සැකයක් මතුකරන්න ඉඩක් තියන්නෙ, මොකක්ද ප්‍රශ්නෙ…?

අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ තමයි, මේ අලිමංකඩවල් නිදහස් කරගනිද්දි ඒ වෙනුවෙන් ඉඩම් අත්පත් කරගන්න සිද්ධවෙනවා. ඒවා පරිසර අමාත්‍යශයට යටතෙ තියෙන ඒවම නෙමෙයි. පුද්ගලික ඉඩම් තියෙනවා. මහවැලි අධිකාරියෙ ඉඩම් තියෙනවා. පුද්ගලික ඒවට වන්දි ගෙවන්නත් වෙනවා. ඒකයි මං කිව්වෙ අර වගාකරලා අත්හැරලා දාපු ඉඩම් කට්ටි මුලින් ගන්න පුළුවන් කියන එක. තව තැනක පවුල් අටක් පදිංචි වෙලත් ඉන්නවා. ඒ පවුල් අට මේ වෙලාවෙ අයින් කරගන්න බෑ. ඒක නිසා අපි එතැන අභයභූමියක් විදිහට ප්‍රකාශයට පත්කරනවා. එතකොට ඒකෙ අලුතින් පදිංචි වෙන එක නවත්තන්න පුළුවන්. මෙහෙම තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නෙ.

සංවර්ධන ව්‍යාපෘතිවලදි පරිසරයයි, ආර්ථිකයයි ගැටෙනවා. මොකක්ද අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය, අලියද – මිනිහද වඩා වැදගත්…?

මේ දෙ‍කෙන් එකක්වත් අපි අනෙකට වඩා ඉහළින් තියන්නෙ නෑ. මේ සමස්ත පරිසර පද්ධතියම අපිට වැදගත්. අපි කිසිදු දෙයක් නොකළත් මේ පරිසර පද්ධතිය වෙනස් වෙනවා. පරිසරය රැකීම කියන්නෙ කිසිදු දෙයක් නොකර සිටීම නෙමෙයි. අපි පරිසර පද්ධතිය වෙනස් කිරීමට විරුද්ධ නෑ, අපි විරුද්ධ පරිසරය විනාශ කරනවට. ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුකූලව පරිසරය වෙනස් කරන්න ඕනෙ. ජන ජීවිතවල තත්ත්වයත් ඉහළට ඔසවමින්, පරිසර පද්ධතිය සුරක්ෂිත කරන්න ඕනෙ. ඒක තමයි කෙටිම පිළිතුර.

සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කරද්දි, ඒවට දෙන පරිසර අනුමැතිය ගැන බරපතළ ගැටලු තියෙනවා. උදාහරණයක් තමයි, වර්තමාන රජයෙන් ක්‍රියාත්මක කරන්න යන කිවුල් ඔය ව්‍යාපෘතිය කරන්නෙ 2014 දත්ත මත හදපු පරිසර තක්සේරු වාර්තාවක් මත. මෙහෙම පුළුවන්ද මේවා කරන්න…?

අපිට වැඩ කරන්න සිදුවෙලා තියෙන රාමුවක් තියෙනවා. අපේ රටේ දැනට තියෙන නීති පද්ධතිය තුළ අපිට වැඩකරන්න වෙනවා. ඒ නිසා අපිට මේ මොහොතෙ කරන්න පුළුවන් දේ තමයි අලුතින් වැරදි නොකර සිටීම. ඊළඟ එක තමයි පරණ වැරදි නිවැරදි කිරීම. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. එතැනදි මේ නීතිමය රාමුව බිඳින්න බෑ. ඒ රාමුව තුළ පරණ වැරදි නිවැරදි කරන්න ඕනෙ. ඒකට අපි කටයුතු කරනවා. මෙතැනදි මතුකරන්න ඕනෙ කාරණයක් තමයි, අපේ රටේ මේ වෙනකොට සිදු වෙලා තියෙන ගුණාත්මක වෙනස විග්‍රහ කරගන්නෙ නැතුව තමයි මේ තත්ත්වයන් දකින්නෙ. ඒ නිසා ඇතැම් පිරිස් හිතනවා, අර පරණ පිරිස වගේ පිරිසක්මයි මේ ඉන්නෙ කියලා. ඒක එහෙම නෙමෙයි. මේ පාලනයේ අරමුණ වංචා-දූෂණ, මහජන මුදල් කොල්ලකෑම නෙමෙයි. මීට පෙර සිදුවුණු පරිසර විනාශයන්ට ප්‍රධාන හේතුව තමයි, ජාවාරම්, දේපොළ රැස්කිරීම. දැන් ඒ දේශපාලන සංස්කෘතිය නෑ. අපේ රජය ගන්න ක්‍රියාමාර්ග මේ ගුණාත්මක වෙනසත් එක්ක තමයි විග්‍රහ කරගන්න ඕනෙ. අපි යන්නෙ පරිසරයට හිතැති ගමනක්.

2024 නොවැම්බර් මාසෙදි ජනතාව 159ක අතිශය බරපතළ බලයක් ජාතික ජන බලවේගයට ලබාදුන්නා. මං ඒක බරපතළ කියන්නෙ ජනතාව ඒ තරම් මේක විශ්වාස කළා කියන අදහසින්. දැන් තියෙන්නෙ අවශ්‍ය දේවල් ඉක්මනින් කරන්න නේද, පරණ නීති වෙනස් කරගෙන යන්න නේද…?

අපි මේ සියල්ල පිළිවෙලට කරනවා. උදාහරණයක් විදිහට ජාතික පාරිසරික පනත අපි වෙනස් කරනවා. ඒක අවුරුදු 26ක් විතර වෙනස් නොකරපු පනතක්. ඒ කියන්නෙ ශත වර්ෂ කාලක්. ඒ කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය, ජන ජීවිත, කර්මාන්ත කොයිතරම් වෙනස් වෙලාද. හැබැයි පරිසර පනත එතැනම තිබිලා. එතැනදි මේ හොඳම එක නොවෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිමාවෙන් අපි මුල් පියවර තියලා තියෙනවා. එහෙම වෙනසක් මේකෙ තියෙනවා. මේ සංශෝධනයෙන් පස්සෙ ආපහු සංශෝධන නොවී තියෙන්නෙ නෑ. අපි සූදානම් අවශ්‍ය දේවල් කරමින් ඉස්සරහට යන්න. ඒක නිසා ඔබ කියපු එක හරි, මේ බරපතළ බලය අපි ඒ දැඩි විශ්වාසය කඩනොකර පාවිච්චි කරනවා.

පහුගිය කාලයේ වනාන්තර සම්බන්ධයෙන් තීරණාත්මක නඩු තීන්දු කිහිපයක් ලැබුණා. ඒවගෙදි පරිසර අමාත්‍යංශය යටතේ තියෙන ආයතනවල වගකීම දැඩි ලෙස ප්‍රශ්න කරලා තිබුණා. වනජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පරිසරය රකින්නද ඉන්නෙ කියන ගැටලුව සමහර තැන්වලදි මතුවෙනවා. දැන් තත්ත්වය කොහොමද…?

අපි දැකපු දෙයක් තමයි, පහුගිය කාලෙ පරිසර අමාත්‍යංශය නොසලකා හැරීමට ලක්වෙලා තිබුණෙ. පරිසර අමාත්‍යංශය යටතට පත්විය යුතු සියලු ආයතන එතැන නෙමෙයි තිබුණෙ. නියාමන ආයතනයක් තියෙන්න ඕනෙ, ඒ නියාමනය ස්වාධීනව කරන්න පුළුවන් විදිහට. එහෙම තිබුණෙ නෑ. අපි මුලින්ම කළේ ඒ ආයතන ටික එක තැනකට ගත්ත එක. ඊටපස්සෙ අපි දැකපු දේ තමයි මේ ආයතනවල මානව සම්පත්වල, භෞතික සම්පත්වල බරපතළ හිඟයක් තියෙනවා කියන එක. ඒ නිසා අපි ආයතනවලට අවශ්‍ය කරන බඳවාගැනීම් කරන්න පටන්ගත්තා. එතැනදි අපි සීමාවකට යටත්වෙනවා, අපි ඉන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ. ඒ අනුව අපිට රාජ්‍ය ආදායමෙන් සීයට දහතුනයි වියදම් කරන්න පුළුවන්. ඒක නිසා මේවා පුළුල් කරගැනීමත් ගැටලුවක්. නමුත් අපි ක්‍රමිකව ඒවා කරනවා. භෞතික සම්පත් හිඟයත් මගහරවාගනිමින් ඉන්නවා. ඒක නිසා අපි තේරුම්ගන්න ඕනෙ, මේ ආයතන රජයේ ප්‍රතිපත්තිවලට එකඟ නොවෙනවා නෙමෙයි, ඒ කාර්යභාරය ඉෂ්ඨ කරන්න තරම් සම්පත් නෑ. ඒ නිසයි මේ පේන්න තියෙන අඩුපාඩු වෙන්නෙ.

කසළ සම්බන්ධ ගැටලුව කොළඹ සිට සියලු පළාත් පාලන ආයතනවල තියෙන ගැටලුවක්. මේක ඔබේ විෂයයට සෘජුව අදාළයි. ජනතාව දැඩිව පීඩාවිඳින මේ ප්‍රශ්නයට මොනවද මේ ආණ්ඩුව කරලා තියෙන්නෙ…?

කසළ සම්බන්ධයෙන් මැදිහත් වන ආයතන කිහිපයක් තියෙනවා. පළාත් පාලන අමාත්‍යංශය යටතේ තියෙන ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා. අනෙක් පැත්තෙන් නාගරික සංවර්ධන අධිකාරිය. ඊට අමතරව පරිසර අමාත්‍යංශය. අපිට තියෙන්නෙ මේකට අවශ්‍ය කරන නියාමන කටයුතු කරන එක. අපි පහුගිය කාලෙ මේවට අවශ්‍ය කරන නිර්දේශ දුන්නා. නමුත් පනතෙ තිබුණු සීමාවන්වලට අනුව නිර්දේශ දෙනවට වඩා දෙයක් අපිට කරන්න බෑ. ඒවා ක්‍රියාත්මක නොකර හිටියොත්, අපිට කරන්න දෙයක් නෑ. පරිසර පනතට අදාළ මේ සංශෝධනයෙදි අපි ඒකට අදාළ නීති වෙනස් කරලා තියෙනවා. ඒ අනුව කිසියම් පළාත් පාලන ආයතනයක් අපේ මාර්ගෝපදේශ කඩ කළොත් අපිට අධිකරණයට යන්න පුළුවන්. ඒක නිසා ඉදිරියෙදි දැනට තියෙන තත්ත්වයන් අපි වෙනස් කරනවා. ඊට අමතරව අපි සියලු අමාත්‍යංශ එකතු කරගෙන රජයක් විදිහට මේකට පොදු වැඩපිළිවෙලක් හදනවා.

වායු දූෂණය, ජල දූෂණය වගේ මාතෘකා ගැන සංවාද වරින්වර උඩට එනවා, යට යනවා. ඇයි අපිට මේව ගැන පුළුල් සංවාදයක් එක්ක දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හදන්න බැරි…?

වායු දූෂණයට සහ ජල දූෂණයට මැදිහත් වෙන්නෙ මධ්‍යම පරිසර අධිකාරිය. අපේ රටේ වාහනවලින් විමෝචනය වන දුම් තමයි වායු දූෂණයට ප්‍රධාන හේතුව. ඒත් අපි ඉන්නෙ සතුටුදායක මට්ටමක. අපිට තියෙන බරපතළ ගැටලුවක් තමයි, ඉන්දියාව සහ පාකිස්තානය වගේ රටවල අස්වනු නෙළන කාලෙට, පිදුරු පුච්චන කොට එන දුම්. ඒක වසරේ අවසාන කාලෙ අපිට ලොකු ගැටලුවක්. ඒවට මැදිහත් වෙන්න සිදුවෙන්නෙ අන්තර් දේශසීමා ගිවිසුම් හරහා. ඒ නිසා අපිට විවිධ රටවල් එක්ක එකඟතා හදාගන්න ඕනෙ. ඒ සඳහා අපේ කලාපයේ තියෙනවා ආයතනයක්, SACEP කියලා, ඒ කියන්නෙ South Asian Co-Operative Environmental Programme. දකුණු ආසියානු සහයෝගිත්ව පරිසර වැඩසටහන කියලා අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒකෙ මූලස්ථානය තියෙන්නෙ ලංකාවෙ. ඒකෙන් අපි සම්මත කරගෙන තියෙනවා, මාලේ ප්‍රකාශනය කියලා ප්‍රකාශනයක්. ඒ හරහා තමයි කලාපයේ රටවල් අතර සිදුවන වායු දූෂණයට අදාළ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මෙතෙක් කල් මේ ප්‍රකාශනය සාකච්ඡාවට අරගෙන තිබුණෙ නෑ. 2025දි අපි මේක සාකච්ඡාවට බඳුන් කළා. අපි විශ්වාස කරනවා, මේ පාරෙ සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන් කියලා.

ජල දූෂණය. විශේෂයෙන් වතුර බෝතල් කරන සමාගම් ජල මූලාශ්‍ර භාවිත කරන ආකාරයේ බරපතළ ගැටලු තියෙනවා. පරණ තිබුණු මේ ප්‍රශ්න එහෙමමයි…?

මධ්‍යම පරිසර අධිකාරිය මේවටත් මැදිහත් වෙනවා. ඒත් මං මුලිනුත් කිව්වා වගේ මේ තියෙන නීති-රීති ඇතුළෙ අපිට කරන්න පුළුවන් වැඩ සීමිතයි. අනෙක් පැත්තෙන් පහුගිය කාලෙ දේශපාලන බලපෑම් නිසා මධ්‍යම පරිසර අධිකාරියෙ වාර්තා සලකලා නෑ. එහෙමයි මේවා පටන් අරගෙන තියෙන්නෙ. තවදුරටත් ඒවා කරන්න බෑ. අපි ඒ පගා දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. ඊටපස්සෙ තිබුණු ප්‍රශ්නෙ නීති. මේ අලුත් පනතින් අපි ඒ තත්ත්වයත් වෙනස් කරලා තියෙනවා. එකපාරම නැති වුණත්, අපි පදනම දැන් දාලා ඉවරයි.

කැලණි ගඟ ගත්තොත්, කොළඹ වතුර බොන තැන. ඉහළ තියෙන කර්මාන්ත ශාලාවල අපජලය ගඟට මුදාහරින බවට වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. වෙනත් ජල ව්‍යාපෘතිවලත් නියාමන ගැටලු ගොඩක් තියෙනවා. මේවා ජනජීවිතයට සෘජුව බලපාන කරුණු…?

කැලණි ගඟ සම්බන්ධයෙන් අපි පහුගිය 10 වැනිදා තිබුණු පාර්ලිමේන්තුවෙ පරිසර උපදේශක කාරක සභාවෙදිත් සාකච්ඡා කළා. ඒකට පරිසර අධිකාරිය මැදිහත් වෙලා ඉන්නවා. ජල දූෂණය මනින යන්ත්‍ර අපි කැලණි ගඟේ තැන් දෙකක ස්ථාපිත කරලා තියෙනවා. ඒවායින් තොරතුරු ගන්නවා. ඊට අමතරව අපි මේ ගඟ දෙපස තියෙන සියලු කර්මාන්ත ශාලාවල හිමිකරුවන් එක්ක සාකච්ඡා කළා, ඔවුන් එකඟ වුණා අපි කියන විදිහට ඔවුන්ගෙ කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රියාවලිය සකස් කරන්න. මේ තරම් කල් තිබුණෙ නීතිවලින් රිංගන වැඩ. ඒත් දැන් ඔවුන් එකඟයි මේ පාරෙ යන්න. මේ සම්බන්ධයෙන් කරපු පර්යේෂණ වාර්තා අපි අධ්‍යයනය කළා. ඒ තොරතුරු අපි ගත්තා.

අනෙක් ජල ව්‍යාපෘති ගත්තහම, කෘෂිකර්මයට ජලය ලබාදෙන්නෙ වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙන්. පානීය ජල අවශ්‍යතා සපුරන්නෙ ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල ව්‍යාපෘති. අපේ අමාත්‍යංශය යටතෙ තියෙන්නෙ ජල සම්පත් මණ්ඩලය. ඒකෙන් කරන්නෙ අපේ රටේ ජල සම්පත දූෂණය වෙන එක වළක්වන එක. එතකොට අපේ ජල සම්පතේ ගුණාත්මක බව හඳුනාගැනීම, ජල මූලාශ්‍ර සංරක්ෂණ කිරීම, ජල මූලාශ්‍ර ප්‍රතිපෝෂණය වගේ දේවල්. ජල සම්පත් මණ්ඩලයෙන් ජල සම්පාදන මණ්ඩලයට නිර්දේශ ලබාදෙනවා. පහුගිය කාලෙ ජල සම්පත් මණ්ඩලයට කිසිම අවධානයක් දීලා තිබුණෙ නෑ. එතැනින් අවසර ගන්න ඕනෙ වුණත්, අවසර අරගෙන තිබුණෙ නෑ. අපි ඒ පනතත් වෙනස් කරනවා, බලය වැඩිවෙන විදිහට. අනෙක් පැත්තෙන් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය දීලා නෑ. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ ආයතනයක් තියෙනවා, ඒකත් එක්ක අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා, ඒ තාක්ෂණය ගන්න. මේ විදිහට අපි අවශ්‍ය තැන්වලට අවශ්‍ය පහසුකම් දෙනවා වැඩ කරන්න.

පරිසර අමාත්‍යංශය යටතේ තිබුණු භූවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් තියෙන්නෙ කර්මාන්ත අමාත්‍යංශය යටතේ. ජල මූලාශ්‍ර සංරක්ෂණයට මේක බාධාවක්…?

අපේ රටට අවශ්‍ය කරන කර්මාන්තකරණය හදන්න විධිමත් වැඩපිළිවෙලක් තිබුණෙ නෑ. ඒක නිසා යම් කාලයක් මේ දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවතීම හොඳයි කියලා අපි හිතනවා. නියාමනයට කලින් මේක විධිමත්ව ආරම්භ කරන්න ඕනෙ. එහෙම කියලා පරිසරයට හානි වෙන්න ඉඩක් නෑ, මොකද මධ්‍යම පරිසර අධිකාරිය හරහා මේ හැම කර්මාන්තයක්ම නියාමනය වෙනවා. ඒක නිසා මෙතැන ගැටලුවක් නෑ.

අවසාන වශයෙන් කතා කරමු, දේශගුණික විපර්යාස ගැන. අනාගතයේ වැදගත්ම මාතෘකාව ඒක. අපි තනියෙන් වැඩ කරනවට වඩා කලාපයක් වශයෙන් කටයුතු කිරීමයි මෙතැනදි වැදගත්. රජයක් විදිහට ජාතික ජන බලවේගය ඒ ගැන හිතලා තියෙනවද…?

අපි දැනට එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව තුළ ක්‍රියාකාරී කාර්යභාරයක් කරමින් ඉන්න රටක්. ප්ලාස්ටික් දූෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ එකඟතා හදාගනිද්දි අපි අවධානය ලැබෙන මට්ටමේ වැඩ කොටසක් කරලා තියෙනවා. ඊට අමතරව කලාපීය පාරිසරික සංවිධානය හරහා ක්‍රියාකාරීයි. ඒ වගේම ජාත්‍යන්තර පාරිසරික ගිවිසුම්වලට බැඳිලා ඉන්නවා. අනෙක් පැත්තෙන් අපි ජාතික වශයෙන් ප්‍රතිපත්ති හදමින් ඉන්නවා. විශේෂයෙන්ම බලශක්තිය වගේ පැති ගැන අවධානය යොමුකරලා තියෙනවා එතැනදි. Bio-Diversity Beyond National  Jurisdiction කියන ජාත්‍යන්තර වශයෙන් ඉතාම වැදගත් ගිවිසුමකට අපි මෑතකදි අත්සන් කළා. ජාත්‍යන්තර මුහුදේ සුරක්ෂිත බවට අදාළ වැදගත් පාරිසරික ගිවිසුමක් මේක. එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ ප්‍රකාශනය යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. අපි ජාත්‍යන්තර තත්ත්වයන් ඒ විදිහටම ගන්නෙ නෑ, අපේ රටට ගැලපෙන විදිහට ඒවා ගලපගන්න ඕනෙ. ඒ වගකීම අපි දරනවා.

සංවාදය – ශාලික විමලසේන

(ජුනි 05 දිනට යෙදුණු පරිසර දිනයට පසු දින කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.)