2026 ස්වර්ණ පුස්තක සම්මාන හිමිකරගත් “ණයානන්දය” නවකතාව අවසන් කරන විට කතුවරයා විසින් පාඨකයාට යම්කිසි නිගමනයක් ලබා දී තිබේ.
“ණයානන්දයේ මහේල ඔබටත් මටත් කොහේ දී හෝ අනිවාර්යයෙන් මුණ ගැසී ඇත. ඔබ හොඳාකාරයෙන් ම ඔහු හඳුනයි. ඔහු හඳුනන බව මෙතෙක් ඔබ දැන් නොසිටියා පමණ ය….
Surath de Mel (ණයානන්දය)
ඇත්තටම මහේල අපට හමු වී තිබේ ද?
මහේල කවු ද?
ඔහු අසාර්ථක මිනිහෙක් ද?හොඳ තාත්තෙක් ද ?
ආදරණීය ස්වාමිපුරුෂයෙක් ද ?
සංවේදී මිතුරෙක් ද ?
සාර්ථක පෙම්වතෙක් ද ? නැතිනම් ජීවිතයේ අර්ථය සොයන මිනිසෙක් ද ?
නව කතාව තුළ අපට කළ හැක්කේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සාහ කිරීමයි.
ඒ සඳහා යම් මනෝවිද්‍යාත්මක මැදිහත්වීමක් සිදුකිරීම සුදුසු යැයි සිතේ.
ඒ කාල් යුන්ග් (Carl Junng) සහ වික්ටර් ෆ්‍රෑන්ක්ල් (Victor Frankl) නම් මනෝ විද්‍යාඥයින් දෙදෙනාගේ අදහස් කීපයක් ඇසුරිනි .
කාල් යුන්ග්ට අනුව මිනිසාගේ වැදගත් ම ගමන වන්නේ Individuation ය.
එනම් පුද්ගලයකු තමන්ගේ සැබෑ ස්වභාවය හඳුනාගැනීමේ ගමනයි.
මහේල එවැනි ගමනක යෙදෙන චරිතයක් ලෙස විග්‍රහ කළ හැක. හේතුව ඔහු සමාජය විසින් නිර්මාණය කරන ලද “සාර්ථක මිනිසා හෝ යහපත් මිනිසා වීමට උත්සාහ නොකරයි.
ඒ වෙනුවට තමන්ගේ අභ්‍යන්තර මනෝභාවයන්ට අවංකව මුහුණ දෙයි.
කාල් යුන්ග් සඳහන් කරන “Shadow” නම් සංකල්පයක් තිබේ.
එනම් සමාජය ප්‍රතික්ෂේප කරන නිසා , අප විසින් ම යටපත් කරගෙන සිටින අපගේ මනසේ රහසිගත කොටස ලෙස හඳුන්වන, අප තුළ ඇති සැඟවුණු ආශා, බිය සහ දුර්වලකම්වලින් පිරුණු , තමන්ට පමණක් ම නිරාවරණය කරගන්නා අඳුරු කොටසකි.
උදාහරණයක් ලෙස ඔබට ඔබේ හොඳම මිතුරා හෝ මිතුරිය සමග ලිංගිකව එකතු විය හැකි ද ?
යන පැනයට පිළිතුර ඇත්තේ මෙම අඳුරු කලාපය තුළ ය. මගේ අදහස නම් මහේල මේ අඳුරු කලාපයෙන් පලා යන්නේ නැත. යන්නයි.
ඒවා පිළිගැනීමට , ඒ හා ගනු දෙනු කිරීමට ඔහු සූදානම් ය.
ඒ නිසා මහේල පරමාදර්ශී වීරයෙක් නොවී, ඇත්ත ම ඇත්ත මිනිසෙක් බවට පත් වෙයි.
සෙවුවන්දිට මහේලගේ හොඳම මිතුරිය බවට පත්විය හැක්කේ ඇයට පූර්ණ නිගමනවලින් තොරව මහේල ව පිළිගත හැකි නිසා ය.
එක අතකට ඇය චරිතයක් ලෙස ගත් විට මහේලගේ ජීවිතයට පැමිණි කාන්තාවක් ලෙස ද , තව අතකට ඔහුගේ අභ්‍යන්තර සංවේදී ලෝකය පිළිබිඹු කරන Anima එකක් ලෙස ගෙනෙන metaphor එකක් ලෙස ද සැලකිය හැක.
(Anima – Junng ට අනුව ඕනෑම පිරිමියෙකු තුළ පවතින කාන්තා ලක්ෂණ).
වික්ටර් ෆ්‍රෑන්ක්ල් Victor Frankl පැවසුවේ මිනිසාගේ මූලික අවශ්‍යතාව සතුට නොව, අර්ථය (Meaning) බවයි.
මහේලගේ ජීවිතය දෙස බලන විට පෙනෙන්නේ ද එයයි.
ඔහු සම්බන්ධතා සොයන්නේ හුදෙක් තනිකම මකා ගැනීමට නොව, ජීවිතය තේරුම් ගැනීමට ය. ඔහුට ජීවිතයේ සෑම අත්දැකීමක් ම “මෙහි තේරුම කුමක් ද?” යන ප්‍රශ්නයට සම්බන්ධය.
ඒ නිසා මහේලගේ අරගලය ආදරය සඳහා වූ අරගලයක් පමණක් නොවේ. එය අර්ථය සඳහා වූ අරගලයකි.
මට මෙම නවකතාවේ දැනුණු එක් විරෝධාභාසයක් (Paradox)
වන්නේ,
සමහර විට මිනිසුන් එකම නිවසක ජීවත් වෙමින් එකිනෙකාගෙන් ඈත් වුවද වෙන් වූ පසු ඔවුන් එකිනෙකාට වඩාත් අවංකව පවතින්නට ප්‍රයත්න දැරීම යි.
සමීපත්වය වැඩි වූ තරමට සම්බන්ධතාව ගැඹුරු වේ යැයි අප සිතන නමුත්, මහේලගේ X වයිෆ් කල්පනී සහ මහේල අතර පසුකාලීන සංවාදය තුළින් කතුවරයා පාඨකයාගෙන් අසන්නේ ඊට වෙනස් ප්‍රශ්නයකි.
සමහර බැඳීම්වල සුන්දරත්වය රැඳෙන්නේ ඒවායේ සීමා නොඉක්මවීම තුළ ද?
මෙම ප්‍රශ්නයට නවකතාව පිළිතුරක් ලබා දෙන්නේ ද නැත .එය පාඨකයා තුළ ම ඉතිරි කරයි.
ඒ නිසා මේ පොත වසා දැමූ පසුත් මහේල යනු අපේ ජීවිතයේ කිසියම් මොහොතක අප තුළම හමුවන මිනිසෙකැයි මට සිතේ.
හොඳ සාහිත්‍යය කෘතියක් අපට අලුත් චරිත හඳුන්වා දෙනවා මෙන් ම අප තුළ ම සිටින විවිධ චරිත හඳුන්වා දෙයි. ඒවාට සම්මාන ලැබීම සතුට දනවයි.
