ඥානසාර හාමුදුරුවෝ සිවුර නැතුව සරමයි කමිසෙයි ඇඳගෙන උසාවි ආවා කියලා අපේ ලොකු හාමුදුරුවෝ කට්ටියකට දුක හිතිලා. ජනාධිපතිතුමා හරිම Diplomatic විදිහට උන්වහන්සේලා ජනාධිපති කාර්යාලයට ගෙන්නලා, ජනාධිපති පුටුවේ වාඩි වෙන්නෙත් නැතුව නිහතමානී විදිහට, පැහැදිලිව, නීතිය කියන්නේ තමන් නොවන බවට කරුණු පෙන්නලා දුන්නා. නීතිය තියෙන්නේ ජනතා පරමාධිපත්ය රකින්න. ඒක පුද්ගලයින්ට ඕන ඕන විදිහට නමන්න ගියොත් වෙන අල්ලකලංචිය පැහැදිලි කරලා දුන්නා.
බුද්ධ නීතියත් රාජ නීතියට යටත් කියලා බුදුහාමුදුරුවොම කියල තියෙනවලු. ඒක ඇත්ත කියලත් අපේ හාමුදුරුවරු පිළිගන්නවා. ඒ වුනාට සිවුර නැතුව එළියේ ඇවිදින එක බුද්ධාගමට එච්චර හරි නෑලු. අපහාසයක්ලු. ඒ හින්දා උසාවි එනකොට (සිර දඬුවම් විඳින හාමුදුරු කෙනෙක් වුණත්) සිවුර ඇඳගෙන උසාවි එන්න පුළුවන් විදිහට නීතිය වෙනස් කරන්න කියලයි හාමුදුරුවරුන්ගේ ඉල්ලීම වෙන්න ඇත්තේ.
අපේ රටේ තියෙන්නේ සුද්දගෙ නීති පොතෙන් ආපු නීති නේ. ඒ නීති හදන කාලේ අපේ හාමුදුරුවරු අපරාධ කරන්න හිතන්නෙවත් නැතුව ඇති කියලයි ජනාධිපතිතුමා (කට කොනකින් හිනාවෙලා) තමන් හම්බවෙන්න ආපු සඟරුවනට කියලා තිබ්බේ. අලුත් තත්වය සලකලා බලලා නීති පොත වෙනස් කල යුතුද කියලා සොයා බලන්න කමිටුවක් පත්කරන්න ජනාධිපතිතුමා හාමුදුරුවන්ට පොරොන්දු වෙලා.
දඬුවම් විඳින හාමුදුරු කෙනෙක් උසාවි එනකොට සිවුර ඇඳගෙන එන්න දෙනවනම්, ඔහුට බන්ධනාගාරය ඇතුලෙ ඉන්දැද්දිත් සිවුර ඇඳගෙනම ඉන්න ඉඩ දිය යුතුයි. ආයෙ මොකද දවල් මිගෙල් රෑ දැනියෙල් වගේ දෙකක්! දැන් ඔය පා ගමනේ එන අපේ හාමුදුරුවරු සෙට් එකට බන්ධනාගාරේ ඇතුලේ අධ්‍යාපන චාරිකාවක් ලෑස්ති කරන්නයි තිබ්බේ. එහෙම වුණා නම් බන්ධනාගාරයෙන් එළියට යනකොට සිවුර දාගෙන මිනිස්සුන්ට පේන්න යන එක තේරුමක් නැති වැඩක් කියලා තේරෙයි.
ත්‍රෛනිකායික නායක හාමුදුරුවරුන් කරන්න ඕනේ හාමුදුරු කෙනෙක් වැරැද්දක් කරා කියලා හිතෙනවා නම් බුද්ධ බුද්ධ නීතියේ විනය පිටකයේ තියෙන ප්‍රතිපාදන වලට අනුව උන්වහන්සේට තවදුරටත් සිවුර දරාගෙන ඉන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය කරලා බැරි නම් බන්ධනාගාරයට යන්න ඉස්සර හාමුදුරු කෙනෙක් අතින්ම සිවුර ගලවලා දෙහි ගහක එල්ලන එක. බන්ධනාගාර නිලධාරියෙක් සිවුරට අත තියන්නත් ඉස්සර. එහෙම උනානම් බුද්ධාගමේ නම්බුවත් බේරගන්න තිබුණා.
