ගල්අඟුරු ගෙන්වූ සමාගම දුන් ලිපිනය බොරු එකක් – කොමිසමේ ප්‍රශ්නවලට පවිත්‍රාගෙන් උත්තර නෑ !

11
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

ආන්දෝලනාත්මක ගල්අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගමේ ලිපිනය ලෙස ඩුබායිහි ලිපිනයක් දැක්වුවද, එම ස්ථානයේ එවැනි සමාගමක් නැති බව තහවුරු කර තිබෙන බවත්, මේ සමාගමේ එක් අධ්‍යක්ෂවරයකු සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ධුරයක් දරන ලද බෙනරගම නම් අයකුගේ පුත්‍රයකු බවත් මෙරටට ගල්අඟුරු ආනයනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (13) අනාවරණය විය.

හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි අද කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර, මේ සමාගම පිළිබඳ අදාළ තොරතුරු දන්නේදැයි කොමිසමේ කොමසාරිස්වරුන් විසින් කරන ලද විමසීමට හිටපු ඇමැතිවරිය නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැත. පවිත්‍රාදේවි වන්නිආරච්චි කොමිසම හමුවට පැමිණි 71 වැනි සාක්ෂිකරු විය. මීට පෙර පැමිණි සාක්ෂිකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සහ කොමිසමේ විමර්ශන අංශය අදාළ සමාගම පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

අවස්ථා 02කදී විදුලිබල හා බලශක්ති ඇමැති ධුරය දැරූ පවිත්‍රාදේවි වන්නිආරච්චි, 2024 වසරේදී වනජීවී විෂය බාර ඇමැති ධුරය දරන සමයේදී ගල්අඟුරු ආනයනය කිරීම පිළිබඳ කැබිනට් අනුකමිටුවක සභාපති ධුරයට පත්කර ඇත. එම කමිටුවේ අනෙකුත් සමාජිකයන් ලෙස කටයුතු කර ඇත්තේ එවකට බලශක්ති ඇමැති කංචන විජේසේකර සහ එවකට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ය. කැබිනට් මණ්ඩලය මගින් මේ අනුකමිටුවට පවරා ඇත්තේ 2024 ගල්අඟුරු ආනයනය ලබාදිය යුතු සමාගම පිළිබඳ නිර්දේශ කිරීම ය.

එහිදී මුලින් ටෙන්ඩරය ලැබී ඇත්තේ ආදිත්‍ය බිර්ලා ග්ලෝබල් ට්‍රේඩින් සමාගමට ය. එහෙත් පසුව ආන්දෝලනාත්මක පොටෙන්ෂියා සමාගම ආදිත්‍ය බිර්ලා සමාගමට වඩා අඩු මිල ගණන් යටතේ ගල්අඟුරු ආනයනය කිරීමට අවස්ථාව ඉල්ලා ඇත. මේ සමාගම් දෙකෙන් කුමන සමාගමට ගල්අඟුරු ආනයන ටෙන්ඩරය ලබාදෙන්නේද යන්න ගැන කැබිනට් මණ්ඩලය මගින් අදාළ අනුකමිටුවෙන් නිර්දේශ ඉල්ලා තිබිණි.

ගල්අඟුරු ආනයනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි පැවසුවේ එවකට රටේ තිබූ මූල්‍ය තත්ත්වය පිළිබඳව සලකාබැලීමෙන් පසු, අඩු මුදලට ගල්අඟුරු ආනයනය කිරීමට එකඟ වූ පොටෙන්ෂියා සමාගමට එම ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුකමිටුව නිර්දේශ කළ බවයි. මේ සමාගම් දෙක අතර මිල ගණන්වල පරතරය රුපියල් බිලියන 9ක් පමණ වූ බව ද ඇමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

පවිත්‍රාදේවි වන්නිආරච්චි බලශක්ති ඇමැති ධුරය දැරූ කාලයේදී ගල්අඟුරු ආනයනය කිරීම් සම්බන්ධයෙන් කොමිසම විසින් ප්‍රශ්න කළ අතර, එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අදාළ ලේඛනවල වගකීම දැරිය යුතු බවයි. තමන් විෂය බාර ඇමැතිවරිය ලෙස අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය තීරණවලට පමණක් මැදිහත් වූ බව ද ඇය සඳහන් කළාය.

ගල්අඟුරු සමාගමේ සභාපති ධුරයට මේනක ලියනගේ පත්කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී හිටපු ඇමැතිවරයා පැවසුවේ එය ජනාධිපති කාර්යාලයෙන් කරන ලද නිර්දේශයක් මත සිදු කළ පත්කිරීමක් බවත්, ඊට තමන්ගේ මැදිහත්වීමක් නොතිබූ බවත් ය. කෙසේ වෙතත් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි මේනක ලියනගේ පවසා තිබුණේ තමන්ව එම සභාපති ධුරයට පත්කළේ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය බවත්, ඊට හේතු වූයේ තමන්ගේ පියා සමග ඇයට තිබූ හිතවත්කම බවත් ය. හිටපු සභාපතිවරයාගේ මේ ප්‍රකාශය හිටපු ඇමැතිවරිය කොමිසම හමුවේ ප්‍රතික්ෂේප කළ අතර, ඔහුගේ පියා තමන් හඳුනන බව පිළිත්තාය.

මෙහිදී කොමිසම පොටෙන්ෂියා සමාගමට ටෙන්ඩරය ලබාදීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් හිටපු ඇමැතිවරියගෙන් ප්‍රශ්න කළේය. ටෙන්ඩර් විවෘත කරන අවස්ථාව වන විටත්, ගල්අඟුරු සමාගමේ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචිව නොසිටි පොටෙන්ෂියා සමාගමට හදිසියේ ලබාදුන් ලිපියක් මත පදනම්ව ටෙන්ඩරය ලබාදීමට නිර්දේශ කළේ කෙසේදැයි කළ විමසීමට නිශ්චිත පිළිතුරක් ලබාදීමට හිටපු ඇමැතිවරිය සමත් වූයේ නැත. අඩු මිලක් ඉදිරිපත් කිරීම නිසා එය සිදු කළ බව ඇය පැවසුවාය.

එහිදී කොමසාරිස්වරුන් ප්‍රශ්න කළේ ටෙන්ඩර් එක විවෘත කරන අවස්ථාව වන විට ඊට වඩා අඩු මිලක් පිළිබඳ තොරතුරු ඔවුන්ට ලැබී තිබුණේ කෙසේද යනුවෙනි. ඊට ද ඇමැතිවරියගේ පාර්ශ්වයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැත.

මෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව තිබියදී අඩු මිල පිළිබඳ ඉලක්කම් සලකාබැලීම පමණක් සිදුකළාද යනුවෙන් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කළ ප්‍රශ්න කිරීමට ද විධිමත් පිළිතුරක් ලබාදීමට හිටපු ඇමැතිවරිය අපොහොසත් වූ අතර, ඉන්පසු කොමිසමේ සභාපතිවරයා විමසුවේ ඉලක්කම් සලකාබැලීමට පමණක් අනුකමිටුවක් අවශ්‍ය වූයේ ඇයිද යනුවෙනි.

ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් ඇමැතිවරයකුගේ හෝ කිසියම් අයකුගේ හදිසි ලිපියක් මත හෝ වෙනත් උත්සාහයක් මත හදිසියේ සමාගමක් පැමිණි කරුණ අදාළ නොවූයේද යනුවෙන් කොමිසම කළ විමසීමට ද හිටපු ඇමැතිවරිය නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැත. එහිදී යම් සමාගමකට වාසියක් සැලසීමේ අරමුණක් තිබූ බවට සැකයක් මතු නොවූයේ දැයි කරන ලද විමසීමට පිළිතුරු දෙමින් හිටපු ඇමැතිවරිය පැවසුවේ රටට අඩු මිලට ගල්අඟුරු ගෙනඒමට හැකි වීම පිළිබඳව පමණක් අවධානය යොමු කළ බවයි. එවකට බලශක්ති ඇමැති කංචන විජේසේකරගෙන් මේ පිළිබඳව කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා ලෙස විමසුවේ නැද්දැයි විමසීමේදී ද පවිත්‍රාදේවි වන්නිආරච්චි හිටපු ඇමැතිවරිය නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැත.

කැබිනට් ඇමැතිවරුන් තිදෙනකුගේ සාමාජිකත්වයෙන්, නීතිපති දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, භාණ්ඩාගාරය ඇතුළු අදාළ සියලු ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත මෙවැනි කැබිනට් අනුකමිටුවක් පත්කළේ ඉලක්කම්වල අඩු-වැඩි බව සලකා අඩු ඉලක්කම පැවසීමට වඩා සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීමට නොවේදැයි කළ විමසීමට ද නිශ්චිත පිළිතුරක් කොමිසමට නොලැබිණි.

ලංකාවට බාල බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දරන ගිහාන් බෙනරගම මේ ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනයට අදාළ පොටෙන්ෂියා සමාගමේ ද අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන් අයෙකි. මේ සමාගමේ ලිපිනය ලෙස ඩුබායිහි ස්ථානයක් දක්වා ඇතත්, විමර්ශන අංශ විසින් සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ එවැනි සමාගමක් අදාළ ලිපිනයේ නොමැති බවයි. ගිහාන් බෙනරගම යනු සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරු රැසක් දරන ලද විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙනරගමගේ පුත්‍රයා ය.

‘ඔබතුමිය සෞඛ්‍ය ඇමැති ධුරයත් දැරුවා නේද, බෙනරගම නම සහිත අධ්‍යක්ෂවරයෙක් හෝ ලේකම්වරයෙක් මතකද?’

‘ඔව්. එහෙම කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටියා.’

කොමිසමේ තවත් ප්‍රශ්න කිරීමකට හිටපු ඇමැතිවරිය එසේ පිළිතුරු දුන්නාය.