සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහි වෛරී ප්‍රචාර මාධ්‍ය සංවිධාන හෙළා දකී !

14
(pix from internet)

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන අපහාසාත්මක සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ප්‍රචාරණ ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන සාමූහිකය ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ දකුණු ආසියානු කාන්තා මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලංකා පාර්ශ්වය මෙම නිවේදනය නිකුත් කර ඇති මාධ්‍ය සංවිධාන අතර වේ.

මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එක්නැලිගොඩ මහත්මියගේ පෞද්ගලික ආරක්ෂාවට තර්ජන එල්ල වීමේ අවදානම පමණක් නොව, රට තුළ දැනටමත් ව්‍යාප්ත වෙමින් පවතින වෛරී දේශපාලන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් වීමේ තත්ත්වයක්ද නිර්මාණය වන බව එම මාධ්‍ය සංවිධාන පෙන්වා දී ඇත.

එමෙන්ම, මාධ්‍ය අවකාශයන් අවභාවිත කරමින් සිදුකරන මෙවැනි ප්‍රචාරණයන් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට බාධාවක් වන බවද ඔවුන් සඳහන් කර තිබේ. අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පෙනී සිටින බවද එම සංවිධාන සිහිපත් කර ඇත.

ඥානසාර හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවේ 2018 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට අදාළව සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වීමෙන් අනතුරුව බවද එහි සඳහන් වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පැමිණිල්ල යොමු කරනු ලැබුවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් වන අතර, එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කටයුතු කළ බවද මාධ්‍ය සංවිධාන පෙන්වා දී තිබේ.

2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන්ට වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර, 2019 මැයි මාසයේදී ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස් කරනු ලැබීය. පසුව, ජනාධිපති සමාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හේතුවෙන් එම තත්ත්වය වෙනස් වූ බවද එම සංවිධාන සඳහන් කර ඇත.

මෙම නීතිමය ක්‍රියාවලිය තුළ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් වෛරයට හෝ ප්‍රචණ්ඩත්වයට ලක්විය යුතු කිසිදු ක්‍රියාවක් සිදුකර නොමැති බවද ඔවුන් අවධාරණය කර තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් මෙරට මාධ්‍ය සංවිධාන අඛණ්ඩව පෙනී සිටින නමුත්, එම නිදහස භාවිත කරමින් පුද්ගලයන්ට හෝ ප්‍රජාවන්ට එරෙහිව තර්ජන එල්ල කිරීම, වෛරය පැතිරවීම හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තිය අනුව, වෙනස්කම් කිරීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් ඇති කරන ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේෂය ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කළ යුතු බවද මාධ්‍ය සංවිධාන පෙන්වා දී ඇත.

ඒ අනුව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතරම, පුද්ගලයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන සහ සමාජය තුළ වෛරය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරන ප්‍රචාරණයන්ට එරෙහිව වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව එම සංවිධාන යළි අවධාරණය කර තිබේ.