ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවේ අද (12) පැවසූහ. මල්වතු මහනාහිමියන් එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා යැයි රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ නොව එල්.ටී.ටී.ඊ සංවිධානය බව ද මහනාහියෝ ප්‍රකාශ කළහ. ජාතික ජන බලවේගය මේ රටේ බලයට පැමිණියහොත් පෙරහර පවා නතර කරනු ඇතැයි ඇතැම් පිරිස් පැවසුවද අද එවැනි තත්ත්වයක් මතුව නැතැයි ද උන්වහන්සේ කීහ.
රංජිත් මද්දුම බණ්ඩාර සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණි කවිරත්න, ජේ.සී අලවතුවල, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්ම-මහත්මීන් ඇතුළු පිරිසක් මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මහනායක ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡාවක නිතර වූහ.
එහිදී මහනායක ස්වාමින් වහන්සේ සහ සමගි ජන බලවේගයේ නියෝජිත පිරිස අතර දීර්ඝ කතාබහක් ඇති විය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා – සංඝයා වහන්සේ සහ උන්වහන්සේලාගේ පූජකත්වය සම්බන්ධයෙන් තීරණ ගන්න ඔ්නෙ මහනායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවයි. බොහොම නරක තත්ත්වක් අද රටේ ඇතිවෙලා තියෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ මහා සංඝරත්නයට බොහොම නරක විදිහට අපහාස උපහාස කරනවා. පක්ෂයක් විදිහට අපි අධිකරණ තීන්දු වලට ඇඟිලි ගහන්නේ නැහැ. නමුත් භික්ෂූත්වය සම්බන්ධයෙන් තීන්දු ගන්න ඔ්න මහනායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවයි. අද සමාජ මාධ්‍ය මගින් මහා සංඝරත්නයට විශාල ලෙස අපහාස කරනවා.
මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමිහියන් – මේවා සම්බන්ධයෙන් නීති හදනවා කියලා කියනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – අද අපේ රටේ ඉන්නේ විධායක ජනාධිපතිවරයෙක්. ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිව්වා විධායක ජනාධිපතිවරයාට කරන්න බැරි පිරිමියෙක් ගැහැනියෙක් කරන එකත් ගැහැණියෙක් පිරිමියෙක් කරන එකත් විතරයි කියලා. වෙන ඔ්න දෙයක් විධායක ජනාධිපතිට කරන්න පුළුවන්. නව නීති හදන්න මාස දෙක තුනක් යනවා.
මල්වතු මහනාහිමියන් – ජනාධිපතිවරයා කිව්වා සති දෙකකින් මේක කරනවා කියලා.
ලක්ෂ්මන් කිරිඇල්ල- සති දෙකකින් නීති හදන්න බැහැ. පාර්ලිමේන්තුවට ගේන්න ඔින. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. නව නීති සතියෙන් දෙකකින් හදන්න බැහැ. ජනාධිපතිවරයාට තිබුණේ නීති හදන තෙක් සුපුරුදු සිවුර ඇතිව ඥානසාර හිමියන්ට අධිකරණයට එන්න අවස්ථාව දෙන්නයි.. විධායක ජනාධිපති ලෙස ඒක කරන්න පුළුවන්. නීති හදන තෙක් පමණක් මේක කරන්නේ. ඒක නීතියක් නෙවෙයි. විධානයක් ලෙස කරන්න විධායක ජනාධිපතිට පුළුවන්.
මහනායක ස්වාමින් වහන්සේ – ජනාධිපතිතුමා එහෙම කරන්න කැමැති නැහැ වගේ.
ලක්ෂ්මන් කිරිඇල්ල- ආණ්ඩුවේ ජනපදනම එන්න එන්නම අඩුවෙනවා. ඒ අඩු වෙන ඡන්ද ටික කොහෙන් හරි ගන්න ඔින. බෞද්ධ ශාසනයට කොනිත්තලා සුළු ජාතීන්ගේ හිත දිනාගන්න තමයි මේක කරන්නේ. බෞද්ධ ජනතාවට රිදවීමක් කළාම සුළු ජාතීන් කැමැති වෙයි කියලා මේ අය හිතනවා.
රංජිත්මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා – ඉතිහාසයේ ස්වාමින් වහන්සේ විශාල පිරිසක් මේ අය ඝාතනය කළා. මේ දවස්වල සමාජ මාධ්‍ය මගින් හාමුදුරුවන්ට අපහාස කරනවා. මේක සම්බුද්ධ ශාසනයට කැලලක්. නිරාගමික රාජ්‍යයක් කරන්න තමයි මේ අයට අවශ්‍යය වෙලා තියෙන්නේ.
මහනායක හිමි- මේවා කරන්නේ කවුද කියලා හොයන්න බැහැනේ. තහනම් කරන ක්‍රමවේදයක් නැහැනේ.
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා – ජවිපෙට සම්බන්ධ බලකාය තමයි මේක කරන්නේ. දේශපාලනඥයෙක් මොනවා හරි කිව්වත් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව ගහනවා. නායක හිමිවරු මොනවා හරි කිව්වත් ඒකටත් ගහනවා. ආණ්ඩුව තමයි මේක කරන්නේ. විපක්ෂයට හෝ ජනතාවට මේක කරන්න වුවමනාවක් නැහැ.
මල්වතු මහනායක හිමි- සමාජයේ නොයෙකුත් අය ඉන්නවා. අපිට මේක කරන්නේ මේ අය කියලා කියන්න බැහැ. පක්ෂවලට සම්බන්ධ නැති තක්කඩි වැඩ කරන අයත් ඉන්නවා. අපි නම් හිතුවේ සමාජ මාධ්‍යයට මේ දාන එක නතර කරන්න කටයුතු කරන්න ඔින කියලයි. මේක නතර කරන්න ක්‍රමවේදයක් නැහැ කියලා තමයි කිහිප දෙනෙක් පැවසුවේ. ඒක ප්‍රශ්නයක්. දැන් චීනයේ මේවා නැහැ. පාලනය කරලා තියෙන්නේ.
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා- අපි බලයේ සිටිද්දි මුහුණු පොතේ මේ වගේ දේවල් වැටුණේ නැහැ. මේ ආණ්ඩුව යටතේ තමයි මේ විදිහට බය නැතුව අපහාස කරන්නේ. මේ අයට මඩ බලකායක් ඉන්නවා.
මල්වතු මහනාහිමි – මේවා කරන්නේ ආණ්ඩුවමයි කියලා අපිට කියන්න බැහැ. කවුරු කළත් ඒක හොඳ නැහැ.
ලක්ෂ්මන් කිරිඇල්ල – ආණ්ඩුවේ ආකල්ප මොනවාද කියලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බලනවා. ආණ්ඩුවේ ආකල්පය මත සමාජ මාධ්‍ය පෙළ ගැහෙනවා. ආණ්ඩුව බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පියවරක් ගන්නේ නැත්නම්, භික්ෂුන් ආරක්ෂා කරන්නත් සිවුරට ගරු කරන්නනත් පියවර නොගන්නවා නම් සමාජ මාධ්‍යයත් ඒ මාර්ගයේ යනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ.
මල්වතු මහනාහිමි – ජනාධිපතිතුමාටත් සිවුරක් අන්දලා තියෙනවා මම දැක්කා. ආණ්ඩුවම කරනවා කියලා කියන්න බැරි ඒ නිසයි.
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා – මේ ආණ්ඩුව පටන් ගත්තේම නිරාගමික කතාවකින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා.
මල්වතු මහනායක හිමි- කොච්චර දුරට ඔ්වා ඇත්තද කියන්න බැහැ. මේ අය බලයට ආවොත් පෙරහර නතර කරනවා කිව්වා. කෝ නතර වුණේ නැහැනේ. ඔය කරගෙන යන්නේ. වෙනත් ආගමික උත්සවවලටත් එතුමන්ලා සහභාගි වෙනවා.
රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා – මේ අය කතරගම පෙරහරට බෝම්බ ගැහුවා. දළදා මාලිගාවට බෝම්බ ගැහුවා.
මල්වතු මහනාහිමි – මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ කවුරුවත් විශ්වාස කරන්න බැහැ. අපි දන්නවා ඇත්ත. තුවක්කු නම් උදුරගත්තා. උපන් දිනය සමරන්න කේක් කවලා මාලිගාවේ මුරට ඉන්න පොලිස් නිලධාරීන්ගේ තුවක්කු උදුරගත්තා. මේ අය එල්.ටී.ටී ඊ වගේ බෝම්බ ගැහුවේ නැහැ. මේවා හිටපු දියවඩන නිලමේ නෙරංජන් කියන බොරු. සමහරු කියන්න දෙයක් නැති වුණාම බොරුවක් හරි කියනවා. දැන් බලන්න දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව ගැන කියන දේවල්. රජවරු ඉන්නකොට පූජා කළ කරඬුව ඉවත් කරලා වෙන එකක් දැම්මා කියලා විවේචනය කරනවා. එයා ඉන්නකොට මොකක්ද කළේ. ඔ්කේ ගෑවා ලැකර්.මගේ ළඟ පිංතූර තියෙනවා හොඳ කරඩුවක් රත්තරංවලින් හදලා පූජා කරලා තියෙන්නේ. පරණ කරඬුව තියෙනවා. ඒක විකුණගත්තා වගේ කතා කරනවා. මාලිගාවේ හොඳ තැනක තියන්න සාකච්ඡා කරනවා. කොෟතුකාගාරයේ තියනවාද පහළ වෙනත් තැනක තියනවාද කියලා තීන්දු කරනවා. කිසි වරදක් වෙලා නැහැ. බොරුවට කෑගහනවා. කියන්න කරන්න දෙයක් නැති වුණාම බොරු හදලා කියනවා. එදා තිබුණු පිත්තල පාත්‍ර වෙනුවට දැන් තියෙන්නේ රත්තරන් පාන්තර. කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් අපි ඒක අගය කළ යුතුයි.
සමගි ජන බලවේගයේ නියෝජිත පිරිස අස්ගිරි පාරශ්වවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින් වහන්සේ ද බැහැදැක අදාළ කරුණු ඉදිරිපත් කළේය. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වවයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ ද සහභාගි වූහ.
