සිංහල ජාතිවාදය එක පැත්තකින් රට අනතුරේ හෙළනවා. දෙමළ ජාතිවාදය තවත් පැත්තකින් ඒ වැඩේ ම කරනවා. දේශපාලනඥයන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා. මේ වගේ තත්ත්වයක් යටතේ රටේ අනාගතයට මොකක් වෙයිද?
දෙමළ ද සිංහල ද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්න බොහෝ දුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත්වල සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදනවල මිල, තමන්ගෙ දරුවන් යවාගන්න හොඳ පාසල්, තියෙන පාසල්වල ගුරුවරු, තරුණයන්ට රැකියා. ඔය වගේ ප්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩිතයි.
ඒ වගේ ම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප්‍රශ්න ගණනාවක් ඔය කියන උතුරේ දෙමළ මනුස්සය ම අත්විඳලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. ඒ කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ට තියෙන්නෙ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ඇඟට දැනෙන ප්‍රශ්න වෙනස්. මේ සිංහල, දෙමළ කියන එක ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. උඩින් ඒගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප්‍රශ්නෙ හරියට තේරුම් ගන්න ඕනෙ. එහෙම නැතුව සරල තැන්වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.
හාමුදුරුවනේ, යුද්ධයට සෘජු ව සහ වක්‍ර ව මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ. මේ කාරණයත් මිනිස්සු පොළඹවාගන්න ලේසිවෙන්න බලපානවා නේද?
අර මම මුලින් කියපු ප්‍රශ්න එහෙම ම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත් කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්ත ම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ.
දකුණ මේ ජයග්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. උතුරේ මනසත් වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ. මේක බරපතළ කාරණයක්. එක ම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යතාර්ථ දෙකක. ඒ නිසා මේ අන්තවාද අර සකස් කරපු පාරෙ ම දිගුවක්.
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටළුව තියෙන්නෙ දේශපාලනඥයන් ඒකට පෙළඹවීමේ ප්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නෙ…?
මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නෙ.
අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්…?
ඇත්තටම ඔව්. මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදු දහමෙ මෛත්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන කතා කරනවා. ඒ කියන්නෙ අනෙක් සියලුදෙනා ගැන කතා කරනවා. එතැනින් අපිට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්.
දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට ඡන්ද ගොඩක් ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා එකිනෙකට ඇවිළවීමෙන්.
ඒත් අපේ හාමුදුරුවනේ, අපි කොයි තරම් කතා කළත් ආගමික නායකයන් විසින් ම තමයි, මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ. ඒක හැම ආගමකට ම පොදුයි…?
ඒක තමයි තියෙන බරපතළම ගැටළුව. බුදුදහම ගන්න. බුදුදහමේ තියෙන ඉගැන්වීම් මේ අන්තවාදී බලවේගවලට මුහුණට-මුහුණ මුණගැස්සුවොත් ඔවුන්ට උත්තර නැති වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ. පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ මොහොතේ මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණාවලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක්කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ කළ යුතු ම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් ඉන්නවා සාධනීය අදහස්වල. මේකට අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ. එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ.
ඇත්තටම සංහිඳියාව කියන වචනය මේ වැඩේදි පාවිච්චි කරන්න මම එච්චර කැමැති නෑ. මම කැමැති සුවපත් වීම කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු කෙනෙක්ට වැන්දහම කියන්නෙ සුවපත් වේවා කියලා. ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයිනෙ. ඒ කතාකරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන් ව සුවපත් කිරීම ගැනයි බුදු දහමෙ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත්‍රයෙ යන්තං සන්තං පදං කියන්නෙ ශාන්ත පදය කියන එක. මෙතැන තියෙන්නෙ සුවපත් වීමේ ප්‍රමාණය මත ප්‍රශ්නයක්. එක එක්කෙනාගෙ තුවාලවල ප්‍රමාණය වෙනස්. ඒ වගේ ම සුවපත්වීමේ ප්‍රමාණයත් වෙනස්. මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩා වින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඩ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒ ගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.
(ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග ‘ලංකා’ පුවත්පතට පෙර කරන ලද දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසකි.)
